ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.

 

JHU
JHU

ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

19 වන ආණ්ඩුක්‍රව ව්‍යවස්ථා සංශෝධනය කැබිනට් අනුමැතිය ලබාගනු පිණිස අගමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබුවද එය ගැසට් කිරීමට  ජාතික හෙළ උරුමය එරෙහි වූ බව එහි විදුලිබල හා බලශක්ති  රණවක මහතා කියා සිටියි.

එම ව්‍යවස්ථාවේ 30(01) වගන්තිය අනුව විධායකයේ ප්‍රධානියාද,ආණ්ඩුවේ ප්‍රධානියාද,‍සේනාධි නායකයාද වන්නේ ජනාධිපති වුවද 19 (01) ට අනුව ආණ්ඩුවේ ප්‍රධානියා වන්නේ අගමැතිවරයා බැව් සඳහන් වන බව රණවක මහතා කියා සිටියේය.

එම හේතුව නිසා තම පක්ෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කිරීමට එරෙහිවූ බව හෙතෙම කියා සිටියේ අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

රට අස්ථාවර කිරීමට කිසිසේත්ම ඉඩනොතබන බවත්,මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේදී එක එක්කෙනා සතුටු කරන ක්‍රමවේදයක් නොව ජනතාව සතුටු කරන ක්‍රමවේදයක් විය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට එක්වූ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ දින 100 වැඩපිළිවෙළ පස්සට දමා අගමැති රනිල් කටයුතු කරන බවයි.

දින 100 වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට ඔහු පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බවත්, එසේ කළ නොහැකිනම් එය ඔහුගේ අපොහොසත්කම බවත් වර්ණසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේ ජනාධිපතිවරයාට මිස එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නොවන බවද හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට ප්‍රතිචාර දක්වමින් වර්ණසිංහ මහතා කියා සිටියේ මේවන විට බිහිව ඇත්තේ යූ.ඇන්.පී ආණ්ඩුවක් බවත්, එය මහත් දෝෂයක් බවත්ය.