දුව රාජිත ඇමතිගේ පුතා ලග; මව්පියන්ගෙන් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි )

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ 2014 වසරේ පෙබරවාරි මස 24 දින අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා අමාත්‍යාංශ රියකින් පැමිණ සිය දියණිය පැහැර ගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් 2014 වසරේ අපේ‍්‍රල් මාසයේ කුරුඳුවත්ත පොලීසියට මෙන්ම එම වසරේම ඔක්තෝම්බර් මාසයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ද පැමිණිල්ලක් කර තිබෙනවා. කෙසේ වෙතත් එම පැමිණිල්ලට ද සාධාරණයක් ඉටු නොවූ බව ඔවුන් මෙහිදී ප‍්‍රකාශ කළා. පසුව මෙම වසරේ ජනවාරි 3 වන දින පොලිස් සහන මැදිරියට ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව ඔවුන් කියා සිටියා.

අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත‍්‍රයා වන 27 හැවිරිදි එක්සත් අර්ජිත සේනාරත්න, මේ වන විට වයස අවුරුදු 17යි මාස 4ක් වන දිනිති ආලෝකා රණසිංහ නම් බාල වයස්කාර දැරියක් මෙලෙස රදවාගෙන තිබෙන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

පළමුව ඇය, අංක 85න් ඞී, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ යන ලිපිනය දරණ ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර පසුව මේ වන විට ඇය වෙනත් ස්ථානයක රදවා සිටින බවටයි දෙමාපියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා සදහන් කර තිබෙන්නේ පැහැරගන යෑමට ලක්වුයේ යැයි කියන අදාළ තැනැත්තිය ළමා හා කාන්තා කාර්යංශට ගෙන ගොස්   වයස පිළිබඳව පරීක්ෂා කර බැලීමේදී  ඒ වන විටත් එම තැනැත්තියට වයස අවුරුදු 16 වැඩි බව අනාවරණය වු බවයි.

එසේම තමාගේ දෙමාපියන් සමඟ සිටීමට තමා අකමැති බවත්, තමා  සමඟ දැනට සිටින තරුණයා සමඟ සිටීමට කැමති බවත්,  පැහැරගැනීමට ලක්වුයේ යැයි කියනු ලබන තැනැත්තිය විසින් එහිදී  ප්‍රකාශයක් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තවද ලංකාවේ පවතින නීතිමය තත්ත්වය  අනුව යම් කිසි කාන්තාවකට වයස අවුරුදු 16 වැඩි නම් ඇයගේ කැමැත්තෙන් යම්කිසි පුද්ගලයෙකු සමඟ ගොස් සිටීනම් එය අපරාධ වරදක් නොවන බව ඒ මහතා  වැඩිදුරටත් සඳහන් කර තිබේ.