අපමණ අගය ලැබුනද? විමල් ප්‍රශ්ණ කරයි. ( විඩියෝ සහිතයි )

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු වෙනත් අමාත්‍ය ධුර ලබාගනිමින් ජාතික ආණ්ඩුවකට එක්වීමෙන් සිදු කරනු ලබන්නේ තමන්ට ඡන්දය ලබාදුන් ජන බලවේගයන් ඉතාමත් දරුණු ලෙස පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ  නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියේය.

එහිදී  විමල් වීරවංශ මහතා පහත පරිදි අදහස් දැක්විය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා හෙට දවසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 15 දෙනකු කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව මාධ්‍ය මගින් අනාවරණය කොට තිබෙනවා. ඒ සමගම තවත් ශ‍්‍රී. ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් රාජ්‍ය අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දෙන බව ද වාර්තා වෙනවා.

මෙසේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනමමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන්නේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවතින එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ  වලිගය බවට පත් කිරීමයි.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත් වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ගේ හෝ අනෙකුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද දුන් අයගේ ඡන්දයෙන් නොවෙයි. එතුමා බලයට පත් කළේ රනිල් වික‍්‍රමසිංහ, ආර්. සම්බන්ධන්, රාවුෆ් හකීම්, අනුර දිසානායක, චම්පික රණවක වැනි අයයි. ඒ නිසා අද මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට අවශ්‍යයි, තමන් බලයට පත් කළ ඉහත කී අයට, විශේෂයෙන් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට ස්ථාවර ආණ්ඩුවක්, විශ්වාසභංගවලින් වට්ටන්න බැරි ආණ්ඩුවක් හදලා දෙන්න.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා අගමැති වුණේ බහුතර කැමැත්තෙන් නොවෙයි. ශ‍්‍රී .ල.නි.ප මන්ත‍්‍රීවරු පිරිසක් කැබිනට් මණ්ඩලයට දාලා, තවත් පිරිසකට රාජ්‍ය අමාත්‍ය ධුර හා නියෝජ්‍ය අමාත්‍ය ධුර පිරිනමලා මේ සිදු කරන්නේ ජනාධිපතිවරණයට පෙර සිටම මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා එකඟ වී සිටි න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙනයාම. ඒක තමයි මෙහි එකම පරමාර්ථය.

මේක හරි පුදුම වැඩක්. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, හරියට ගණන කීරමට නොහැකි වුවත් 25ත් – 40ත් අතර ප‍්‍රමාණයක් අමාත්‍ය ධුර ලබා ගන්නවා. ඒ අතරේ විපක්‍ෂ නායකකමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තබා ගෙන ඉන්නවා. අමාත්‍ය ධුර බාර ගණනක් අරගෙන, විපක්‍ෂ නායක කමත් තමන් ළඟ තබාගෙන ආණ්ඩුවත් තමන්ගේ, විපක්‍ෂයත් තමන්ගේ කියන තත්ත්වයක් හදා ගන්නවා.

මේ තත්ත්වය තුළ විපක්‍ෂ නායකවරයා ආණ්ඩුව විවේචනය කරන්නේ කොහොමද? ඒක කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තමන්ට බනිනවා වගේ වැඩක්. මේ ආණ්ඩුවේ ජනාධිපති තමන්ගේ, අමාත්‍යවරු 20-40 අතර ප‍්‍රමාණයක් තමන්ගේ, එතකොට කොහොමද මේ ආණ්ඩුවට විවේචන එල්ල කරන්නේ.

මේක තමයි කරනවා කියපු වෙනස. මේක විතරයි අද දේශපාලන කරළියේ මේ අය කරපු එකම වෙනස. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට ගෙන ඒමට කටයුතු කළ හවුලට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන බලවේගයන් බලහත්කාරයෙන් ගැට ගසා දීමයි මෙතැන සිදු වන්නේ.  ඔයගොල්ලෝ මේ ඇමති කටු ටික සූප්පු කරමින් ඉන්න. එතකොට අපට පුළුවන් පාක්‍ෂිකයා ගැට ගහලා තියා ගන්න  කියන අර්ථයෙන් තමයි මේ කටයුත්ත සිදු වන්නේ. අපි විශ්වාස කරනවා මේක දේශපාලන වශයෙන් ඉතාමත් දරුණු පාවාදීමක් කියලා.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සැබෑ ලෙසම රටට, ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයාට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බලවේගයන්ට ආදරේ නම් කළ යුතුව තිබුණේ සුළුතරයේ අගමැතිව එලවලා  දමලා, පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පිරිසෙන් ආණ්ඩුව පිහිටුවලා ඒ ආණ්ඩුවේ බලය තියාගෙන ඊළඟ මහ මැතිවරණයට සුදුසු අවස්ථාවේදී යන එක. නමුත් අද ඒක කරනවා වෙනුවට කරන්නේ රනිල් වික‍්‍රමසිංහට උවමනා දේ.

දැන් මේ තියෙන තත්ත්වය අනුව පෙනෙනවා රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න අමාරුයි කියලා. පුදන කොටම කාපි යකා  කිව්වා වගේ මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසියෙන් මේ ආණ්ඩුවේ ‘යහපාලන වස්ත‍්‍ර’ ඔක්කොම ගැලවිලා ගියා. මේ ගනුදෙනුවෙන් පමණක් ඊයේ වන විට සිදුව ඇති පාඩුව, ඒ කියන්නේ පොලී අනුපාතික කෘත‍්‍රීමව දෙකයි දශම ගණනකින් ඉහළ දැමීමෙන් ඊයේ වන විට පැවති බැඳුම්කර ගනුදෙනුවලින් බිලියන 30කට වැඩි පාඩුවක් සිදුව තිබෙනනවා.

මේ පාඩුව දිනෙන් දින වැඩි වෙනවා. අලූතෙන් බැඳුම්කර ගනුදෙනු සිදු වන්නේ ඉහත පොලී අනුපාතිකයට වඩා ඉහළ අගයකට. ඒ නිසයි මේ ගනුදෙනුව හේතුවෙන් සිදු වන පාඩුව දිනෙන් දින වැඩි වෙන්නේ. මේ ගනුදෙනුවෙන් ඊයේ වන විට සිදුව ඇති පාඩුව බිලියන 30යි. ගාල්ල සිට මාතර දක්වා අධිවේගී මාර්ගය හදන්න ගියේ බිලියන 25යි.

දැන්  යහපාලන වස්ත‍්‍ර  ගැලවිලා ඉවරයි. ආර්ථික පොරොන්දු සම්පූර්ණයෙන් මිත්‍යාවක් කියලා රටට දැනිලා ඉවරයි. ඒවා ගැන හීන මවන්න බැහැ. තව මවන්න අලූත් හීනත් නැහැ. ඒ නිසා කළ යුත්තේ එක දෙයයි. ඒක තමයි තමන්ට විරුද්ධව බලවේගයක් ගොඩනැගෙන එක වැළැක්වීම. ඒක තමයි මේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසකට  ඇමති කටු ටිකක් සූප්පු කරන්න දීලා කරන්න යන්නේ.

ඒ සමග පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට හෝ ඒවා විශේෂ කොමසාරිස්වරුන්ගේ පාලනයක් යටතට පත් කිරීමට හෝ සූදානම් බව පෙනෙනවා. මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂක ධුරයට මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පත් කිරීමට බල කෙරෙන සටනේ ඉදිරියෙන්ම ඉන්නේ ශ‍්‍රී ලනිප නගරාධිපතිවරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් ටික. යන යකා කොරහත් බිඳ ගෙන ගියාවේ කියලා ඒ අය සතු දේශපාලන බලය උදුරා ගෙන පළාත් පාලන ආයතනවල බලයත් එජාපයට ලබා දීමට සැලසුම් සකස් වෙමින් තිබෙනවා.

ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ටත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙනුවෙන් කැප වූ ලක්‍ෂ 58ක ජන බලවේගයටත් පූර්ණ හතුරු න්‍යාය පත‍්‍රයක අද මේ රට රැුගෙන යමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා මේ තත්ත්වයට විරුද්ධව පොදු ජනතාව, ප‍්‍රගතිශීලී ජනතාව බලවත්ව නැගී සිටිය යුතුයි කියලා.

මේ අය බලයට ආවේ  රටකට  ඕනෙ අපමණ අගයක්  කියන ගීතය ගායනය කරමිනුයි. අපි අහනවා,  දැන් මහත්වරුනි දින 70කට ආසන්න කාලයක් ගියානේ. මේ වන කොට රටේ අපමණ අගය වැඩි වෙලාද?  කියලා. මේ රටේ මිනිස්සුන්ගේ අපේක්‍ෂාවන් ඉහළ ගිහිල්ලාද? පහළ ගිහිල්ලාද? ආර්ථිකයේ වැඩිවීමක් වෙලාද? බැස්මක් වෙලාද? කොටස් වෙළඳපොළ නැගලාද? බැහැලාද? රුපියල ශක්තිමත් වෙලාද? අවප‍්‍රමාණය වෙලාද? තේවලට, රබර්වලට ලැබෙන මිල ඉහළ ගිහිල්ලාද? පහළ ගිහිල්ලාද? හාල් මිල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් පහළ ගිහිල්ලාද? ඉහළ ගිහිල්ලාද? ඒ අනුව මේ අටේ අපමණ අගය වැඩිවෙලා කියලා පෙනෙන්නේ නැහැ.