ඇස් ලෙඩක් රට පුරා..

as leda

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස්‌ රෝගයක්‌ පැතිරෙමින් පවතින බැවින් ඉන් වැළකීමට ආරක්‌ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කොළඹ ජාතික අක්‌ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අක්‌ෂි පටල ප්‍රදානය යනුවෙන් හඳුන්වන මෙම ඇස්‌ රෝගය වෛරස්‌ හෝ බැක්‌ටීරියා ආසාදනයක්‌ නිසා හටගනු ලබන බවත්, එය දින තුනක්‌ හෝ හතරක්‌ වැනි කෙටි කාලයක්‌ පවතින බවත් එම රෝහල සඳහන් කරයි.

ඇස්‌වන වේදනාව, කබ සහ කඳුළු ගැලීම, ඇස්‌ රතු පැහැවීම සහ උදය කාලයේ ඇස්‌ කබවලින් බැඳී තිබීම මෙන්ම මද වශයෙන් පවතින හිසරදය මෙහි රෝග ලක්‌ෂණ වෙති.

දිනකට මෙවැනි රෝගීන් 100 දෙනකු පමණ ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික අක්‌ෂි රෝහලට පැමිණෙන බවද වාර්තා වේ.

සාමාන්‍යයෙන් සෑම වසරකම මැයි, ජුනි හා ජුලි යන මාසවල මෙවැනි ඇස්‌ රෝග දිවයින පුරා වාර්තා වන බවද එම රෝහල පවසයි.

මෙම ඇස්‌ රෝගය වළක්‌වා ගැනීම සඳහා බස්‌රථවල, දුම්රියන්වල හෝ පොදු වාහනවල ගමන් කරනවිට හැකි තරම් ඇස්‌ ස්‌පර්ශ කිරීමෙන් වැළකීම, මිනිසුන් ගැවසෙන ස්‌ථානයක සිට නිවසට ගිය පසු විෂ බීජ නාශකයක්‌ යොදා මුqහුණ සහ අත් හොඳින් පිරිසිදු කරගැනීම කළ යුතුය. එමෙන්ම අනෙක්‌ පුද්ගලයන්ගේ තුවා, ලේන්සු හා ඇඳුම් භාවිත නොකළ යුතුය. දෑස්‌වල වේදනාවක්‌ පවතී නම් ප්‍රතිකාර සඳහා පළපුරුදු අක්‌ෂි වෛද්‍යවරයෙක්‌ වෙත හෝ රජයේ රෝහලක අක්‌ෂි වෛද්‍ය ඒකකයක්‌ වෙත යොමු විය යුතුය.

මෙම රෝගය සාමාන්‍ය රෝගයක්‌ වන අතර එමගින් වෙනත් සංකූලතා ඇතිවීමේ අවදානමක්‌ නැත.