හිටපු ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්

wimal-415x260

හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා මත්තේගොඩ, කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස යෝජනා ක්‍රමවලින් නීති විරෝධීව නිවාස ලබා දී ඥාති සංග්‍රහ කර රජයේ දේපළ සාවද්‍ය පරිහරණයක් කර තිබේද? යන්න විමර්ශනය කරන බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේය.

නිවාස ව්‍යාපෘතියේ විකිණීමට තිබූ නිවාස හයෙන් පහක්ම ළඟම ඥාතීන් වන පුද්ගලයන්ට ලබා දී තවත් නිවාසයක් ජනාධිපති මාධ්‍ය ඒකකයේ සේවය කරන පුද්ගලයකුට ලබාදීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව එම කොට්ඨාසය කරුණු ඉදිරිපත් කර ඇත. මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ඕෂන් විව් ඩිවලප්මන්ට් සමාගමේ සභාපති පූර්ණ චන්දන සිල්වා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතන දෙකට සියයට 57 හා 43 බැගින් කොටස් ‍අයිතිය පවතින මත්තේගොඩ හා කහතුඩුව නිවාස යෝජනා ක්‍රමවලදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී ඇද්ද, රජයේ දේපළ සාවද්‍ය පරිහරණයක් සිදුවී ඇද්ද යන්න හා මුදල් විසුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇද්ද යන්න මෙහිදී විමර්ශනය කරන බව කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඉදිරියේ විභාග කෙරේ.