පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.

D V upul

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) නියෝග කළාය.

අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළ මහේස්ත්‍රාත්තුමිය සැකකරුගේ ප්‍රකාශය ඇතුළත් සංස්කරණය නොකල දර්ශන රහස් පොලිසියට බාරදෙන ලෙසට ජාතික රූපවාහිනිය ඇතුළු මෙරට රූපවාහිනි නාලිකා ප්‍රධානීන්ට නියෝග කළාය.

ඩී. වී. උපුල් මහතාගේ ප්‍රකාශය මුද්‍රිත මාධ්‍යවල පළකල මාධ්‍යවේදීන්ට රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම් දෙන්නැයි පුවත්පත් කතුවරුන්ට නියෝග කළාය.  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. කේ. ඩබ්ලිව්. එම්. ආර්. සෙනවිරත්න මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ කරුණු සලකා බැලීමෙන් පසුව මේ තහනම් නියෝගය නිකුත් කළාය.