රට යන්න දෙන්න මිලියන 3500ක් රටට අහිමි වෙනවා.ඇවන්ගාර්ඩ් සභාපති/බැ: රහස් පොලිසිය.

nissanka senadhipathi

තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සිදුකළ ඉල්ලිම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් සේනාධිපති මහතාගේ නීතීඥවරිය සඳහන් කර සිටියේ ව්‍යාපාරික කටයුත්තක් සදහා සේනාධිපති මහතාට   විදෙස් ගත වීමට අවශ්‍ය බවයි.

එම  විදෙස් ගමන යාමට නොහැකි වුවහොත් රුපියල් මිලියන 3500කට අධික මුදලක් අහිමි වීමේ ඉඩකඩ පවතින බව සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් රහස් පොලිසිය එම ඉල්ලීමට විරෝධය පළකරමින් කියා සිටියේ මෙම කරුණ පිළිබඳව විදේශ සහ ආරක්ෂක අමාත්‍යංශ වල ලේකම්වරුන්ගෙන් උපදෙස් ලබාගත් බවයි.

එමෙන්ම නීතිපතිවරයාගෙන් ද උපදෙස් ලබාගත් බව සඳහන් කළ රහස් පොලිසිය මෙම ඉල්ලීමට විරුද්ධවන බව කියා සිටි‍යේය.

සේනාධිපති මහතා විදේශ ගත වුවහොත් මෙම පරීක්ෂණයට අදාළව විදෙස් රටවල පවතින සාක්ෂි වලට බලපෑම් සිදුවිය හැකි බව රහස් පොලිසිය පැවසීය.

එහිදී මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සඳහන් කළේ තමා සිදුකරන්නේ මෙම පරීක්ෂණයට සහය වීමක් පමණක් බවයි.

නීතීපතිවරයා විරුද්ධ වන්නේ නම් එය අභිබවා ගොස් කටයුතු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය.