යුද අපරාධ ගැන සොයන්න මසක් ඇතුළත කමිටුවක්; ජනපති BBCවෙත කියයි.(විඩියෝ සහිතයි)

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලයීය දිනය සැමරීම සඳහා බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදී සිටින අතරවාරයේ බීබීසී සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“පරීක්ෂණ කමිටුවක් තමයි පත්කරන්නේ නීත්‍යානුකූලව. ඒ පරීක්ෂණ කමිටුවට ඒ වගකීම භාරදෙනවා, ඒ පරීක්ෂණ කමිටුව විසින් කළ යුතු කාර්යයන් මොනවාද, ඒවා හඳුනාගෙන ඒ අපි බලාපොරොත්තු වෙන ඉලක්කගත වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්,” ජනාධිපතිවරයා පවසා තිබේ.

එම පරීක්ෂණයෙන් කිසියම් වැරදිකරුවන් හඳුනා ගැනෙන්නේ නම් රටේ නීතිය ප්‍රකාර ඔවුන්ට දඬුවම් කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කර ඇත.

කෙසේ නමුත් යුද අපරාධ චෝදනා විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

“අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවනේ අපේ දේශීය යාන්ත්‍රණය ගැන විශ්වාසය තියන්න කියල? අපිට පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ඒ අය දරන අදහස් සැලකිල්ලට අරගෙන දේශීය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න,” යයි හෙතෙම පවසා ඇත.

“ඒ නිසා මම හිතන්නේ අපිට අවශ්‍ය වන්නේ නැහැ පිටස්තරයන් කවුරුත් මේ පරීක්ෂණ කටයුතු සඳහා. ඒ අයගේ අදහස් ලබාගන්න පුළුවන් අපේ කටයුතුවලට වඩාත් ඵලදායී ලෙස ඉෂ්ඨ කිරීම සඳහා.” යනුවෙන් ‍ඔහු පෙන්වාදී තිබේ.

රැඳවුම් භාරයේ සිටි ජෙයකුමාරි බාලේන්ද්‍රන් ඇප පිට නිදහස් වුවත්, තවත් සිය ගණනක එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් තවමත් නඩු නොපවරා අත්අඩංගුවේ රඳවාගෙන සිටින්නේ නොවේදැයි විමසූ අවස්ථාවේ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔවුන් නඩු පැවරිය හැකිද, නොඑසේනම් නිදහස් කළ හැකිද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන මෙන් තමන් ජාතික ආරක්ෂක මණ්ඩලයට තමන් උපදෙස් දී ඇති බවයි.

සිය ආණ්ඩුව බලයට පත්වී තවමත් ගත වී තිබෙන්නේ මාස දෙකක කාලයක් පමණක් බව අමතක නොකළ යුතු බවද  ඔහු පවසා ඇත.

එම උපදෙස් ප්‍රකාරව නිදහස් කෙරෙන එල්ටීටීඊ සැකකරුවන්ට ශ්‍රී ලංකාවේ අනෙක් සියලුම පුරවැසියන්ට හා සමානව නිදහසේ දිවි ගෙවීමේ අවකාශය හිමි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය සංචාරයේදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, විපක්ෂනායක එඩ් මිලිබෑන්ඩ් ඇතුළු බ්‍රිතාන්‍ය නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වූ අතර, දෙවැනි එලිසබෙත් රැජිණ සමඟ දිවා භෝජනයකටද සහභාගි විය.

ශ්‍රී ලංකාවේ යුද සමය, පශ්චාත් යුද සමය සහ වර්තමාන වාතාවරණය පිළිබඳව බ්‍රිතාන්‍ය අගමැතිවරයාට පුළුල් අවබෝධයක් තිබෙන බව ඔහු හමු වූ අවස්ථාවේ තමන්ට වැටහුණ බව, ජනාධිපතිවරයා පවසා තිබේ.

“අලුතෙන් හිතල, අලුතෙන් සැලසුම් කරලා මේ යන ගමනේදී බ්‍රිතාන්‍ය අගමැතිතුමාත් එක්ක කරන ලද සාකච්ඡාව ඉතාම ප්‍රතිඵලදායකයි,” ඔහු සඳහන් කර ඇත.

“යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශ නැවත ගොඩනැඟීම, ඒ වගේම ශ්‍රී ලංකාව තුළ සිටින සියලු ජාතීන් අතර සමගිය, සංහිඳියාව, සහජීවනය. ජාත්‍යන්තර අවධානය යොමු වී තිබෙන්නේ එම කාරණා සම්බන්ධයෙන්,” යයි ජනාධිපතිවරයා පවසා තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් පමණක් නොව ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ඕනෑම කරුණක් සම්බන්ධයෙන් රටතුළ විවෘත සංවාදයකට අවස්ථාව තිබිය යුතුය යන්න සිය විශ්වාසය බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

කෙසේ නමුත් ‘නෝ ෆයර් සෝන්’ චිත්‍රපටය මගින් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට එල්ල වන චෝදනා තමන් පිළිනොගන්නා බව ඔහු පවසා තිබේ.