භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

 

31`31`31`331`3

හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (03) නඩු පවරන ලදී.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව මෙම නඩුව පවරා ඇත. විතානගේ අනුර තුෂාරද මෙල්, චන්දන ජගත් කුමාර, පතිරණගේ චමින්ද රවී ජයනාත්, කොඩිප්පිලි ආරච්චිගේ ලංකා රසාංජන, විජේසූරිය ආරච්චිගේ ෂාලක සමීර, විදානගමගේ අමිල, සරත් බණ්ඩාර, සුරංග ප්‍රේමලාල්. චමින්ද සමන් කුමාර අබේවික්‍රම, ප්‍රියන්ත ජනක බණ්ඩාර, දුමින්ද සිල්වා, රෝහණ මාරසිංහ හා ලියනාරච්චි ශමින්ද යන විත්තිකරුවන් 13 දෙනාට එරෙහිව මෙසේ අධි චෝදනා නගා ඇත.

2011 ඔක්තෝබර් පැවැති බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා නිදහස් සන්ධානයෙන් තරගවදින අපේක්ෂකයකු හට සහාය පලකිරීම සඳහා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී එම සන්ධානයේම ආධාරකරුවන් පිරිසක් සමඟ මුහුණට මුහුණ ගැටීමෙන් ඇතිවූ ආරවුලකදී කොලොන්නාව ප්‍රදේශයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ජීවිතක්ෂයට පත්විය.

මේ සියලු විත්තිකරුවන් මහාධිකරණය මගින් නියම කර ඇප මත දැනට මුදාහැර සිටියි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර, ධම්මික දර්ශන ජයතිලක, මොහොමඩ් අස්මි හකීම්, මනුවෙල් කුමාරස්වාමි යන අය වෙඩි තබා ඝාතනය කළ බවට හා රාජපුරගේ ගාමිණී යන අයට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම සහ ඔහු මරා දැමීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා නගා ඇත.

2011.10.08 කොලොන්නාව ඇතුළු ප්‍රදේශවල ඡන්දය පාවිච්චි කරන පුද්ගලයන් හට සාපරාධී බලහත්කාරකම් කිරීම පොදු අරමුණ කරගනිමින් නීතිවිරෝධීව රැස්වී කටයුතු කරමින් සිටියදී මෙම අපරාධ සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව වැඩි දුරටත් චෝදනා නගා ඇත.