තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.

sobitha-thero_0.gif

වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට වගකීමක් තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මාස 06 ක කාලයක් යොදාගන්නා ලෙසට තමන් වහන්සේලා ප්‍රකාශ කරද්දී ඒ සඳහා දින 100 ක කාලයක් සෑහෙන බවට ජනාධිපතිවරණය පැවැති සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටි බවත්, ඒ අනුව එම පොරොන්දු ඉටුකිරීමට ඔහුට වගකීමක් තිබෙන බවද උන්වහන්සේ පැවසූහ.
සාධාරණ සමාජයක් සඳහා පුරවැසියෝ සංවිධානය ‘සාධාරණ සමාජයක් – අපි කතා කරමු’ මැයෙන් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ (01දා) සංවිධානය කර තිබූ සමුළුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් සඳහන් කළේ වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි ක්‍රියාත්මක කර ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු සියලු ප්‍රතිසංස්කරණ මාස 06කින් ඉටුකරන ලෙසට තමන් වහන්සේලා යෝජනා කළ අවස්ථාවේදී එය දින සියයකින් ඉටුකළ හැකි බව කියාසිටියේ සිරිසේන මහතාම බැවින් විධායක බලතල උපයෝගී කරගෙන එම පොරොන්දුව ඉටුකරන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
මේ වනවිට ආණ්ඩුව ගමන් කරමින් තිබෙන මාර්ගය පිළිබඳව කලකිරීමක් ඇතිව තිබෙන බවත්, ජනතාවට දුන් පොරොන්දු ඉටුනොකිරීම පිළිබඳව බරපතළ සැකයක් ඇතිවන බවත් සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට ආරම්භක අවස්ථාවේ සිට සටනට පිවිසි තමන් වහන්සේ අමතක කරමින් ආණ්ඩුව ගමනක් යන බව උන්වහන්සේ කියා සිටියහ.
ජාතික විධායක සභාවට සහභාගී වන්නේ නැද්දැයි සමහරුන් තමන් වහන්සේගෙන් ප්‍රශ්න කරන බව පැවසූ මාදුළුවාවේ සෝභිත හිමියෝ, එම සභාවට තමන් වහන්සේ ඉදිරිපත් කර ඇති බවට පුවත්පත්වල පළ වී තිබුණද මේ දක්වා පත්වීම් ලිපියක් හෝ රැස්වීම්වලට සහභාගී වන ලෙස ආරාධනයක් නොලැබුණු බවද සඳහන් කළහ.