අසාද් සාලි වැනි අයට පෙන්න මම අද නුගේගොඩ යනවා; මහ ඇමැති ප්‍රසන්න

C.Minister

“මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” යනුවෙන් අද (18 වැනිදා) නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමා සහභාගි වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය අපේක්‍ෂා කළ ඒ වෙනුවෙන් වෙහෙස වූ පුද්ගලයකු ලෙසත්, ඔහුට ඡන්දය පළ කළ 58 ලක්‍ෂයෙන් අයකු ලෙසත් හෘද සාක්‍ෂියට එකඟව මෙම තීරණය ගත් බව ඒ මහතා කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට තරග කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයෙනි. කිසිදු ජන පදනමක්‌ නැති අසාද් සාලි වැන්නවුන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන පදනමට අභියෝග කරයි. එක්‌සත් ජාතික පක්‍ෂයේ මැති ඇමැතිවරුන් එතුමාට පරිභව කරමින්, මේ රැස්‌වීම සාර්ථක වන්නේ නැතැයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට සහාය දුන් ජනතාව සමච්චලයට ලක්‌ කරයි. එවැනි තත්ත්වයක්‌ තුළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් ජනතාව ඡන්දය දීම සඳහා මෙහෙය වූ තමන් වැන්නවුන් නිහඬව සිටින්නේ කෙසේ දැයි රණතුංග මහතා ප්‍රශ්න කරයි. එබැවින් අද පැවැත්වෙන රැස්‌වීමට සහභාගි වන්නැයි, හෘද සාක්‍ෂිය තමන්ට බල කරන බව පවසන ප්‍රසන්න රණතුංග මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දුන් ඡන්දය දුන් තමන් වැනිම වූ කිසිවකුට ඔවුන්ගේ හෘද සාක්‍ෂියෙන් ගැලවීමක්‌ නැති බව විශ්වාස කරන්නේ යෑයි ද කියා සිටී.

මෙම රැස්‌වීමට කර ඇත්තේ විවෘත ආරාධනයකි. මහින්ද රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් 58 ලක්‍ෂයෙන් එක්‌ අයෙකු නම්, ඊට සහභාගි වන්නැයි විවෘතව ආරාධනය කර තිබේ. ජනාධිපතිවරණයෙන් පසුවද තමන් ගම් මට්‌ටමෙන් ජනතාව මුණ ගැසුණු බවත්, ඒ නිසා මහජන මතය කුමක්‌ දැයි තමා හොඳින් දන්නා බවත් පවසන රණතුංග මහතා මෙම රැස්‌වීම බැලීමට සහභාගි නොවුණහොත් වැඩ කරන බව පෙන්වමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් වැඩ නොකළ පුද්ගලයන්ගේ ගොඩට ජනතාව තමන්ව ද දමනු ඇතැයි පෙන්වා දෙයි.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් වීමෙන් පසු, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රී කණ්‌ඩායම හමුවූ අවස්‌ථාවේදී අයවැය සම්බන්ධයෙන් ගත යුතු පියවර එම මන්ත්‍රීවරුන් විමසූ විට සඳහන් කර තිබුණේ හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන ලෙසයි. එය මාධ්‍ය මගින් වාර්තා කර තිබිණි. ඒ අනුව මෙම අවස්‌ථාවේදී තමන්ද හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කරන බව රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පවසන රණතුංග මහතා මෙම රැස්‌වීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සංවිධානය කරන රැස්‌වීමක්‌ නොවන බව පැහැදිලි කළේ යෑයි කියා සිටී. පක්‍ෂයක්‌ ලෙස රැස්‌වීමට සහභාගි වීමට නොහැකි වුවද පුද්ගලයකු ලෙස ඊට සහභාගිවීමේ බාධාවක්‌ නැතැයි තමන් විශ්වාස කරන බව ද රණතුංග මහතා කියා සිටී.