වෙලේ සුදාගේ කුඩු ගබඩාව.

wela-suda

අන්තර් ජාතික මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගබඩා කළ මහා පරිමාණ මත්කුඩු ගබඩාව කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය විසින් ඊයේ (16) කැලණිය, බියගම, සිංහාරමුල්ල ප්‍රදේශයේදී සොයාගෙන තිබේ.

ඊයේ දහවල් 1.15ට පමණ එම පොලිස් කණ්ඩායම් එම ගබඩාව වටලා වෙලේ සුදාගේ කුඩු ජාවාරමේ සුළ මුල සොයාගැනීමට ද සමත්වී ඇත.

පාකිස්තානයේ සිට එම මත්කුඩු එවා ඇත්තේ මැසී ෆර්ගියුෂන් 240 වර්ගයේ ට්‍රැක්ටර්වල ගියර් පෙට්ටිය යට සූක්ෂම ලෙස අසුරා බව හෙළිවී ඇත.එක් ට්‍රැක්ටරයක තිබෙන ගියර් පෙට්ටිය තුළ කිලෝ 30 – 40 අතර ප්‍රමාණයක් සඟවා තිබේ.

එසේ කුඩු ගෙන්වූ අලුත්ම ට්‍රැක්ටර්  36ක් මේ යාඩ් එකේ තිබී හමුවී ඇත. වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙහි තිබූ කුඩු තොග සඟවන්නට ඇතැයි සැක කෙරේ.

කොළඹ වරාය හරහා එම ට්‍රැක්ටර් ගෙන්වූ බවත් ඒවා වරායේද රේගු නිලධාරින්ට හසු නොවූ බවත් වෙලේ සුදා මෙම ජාවාරම පිළිබඳව කරන පාපොච්ඡාරණයේදී සඳහන් වෙයි.

wela-suda_1

මේ ස්ථානයට ගෙන්වන මත්කුඩු එතැනින් මෙරටට බෙදාහැරීම සහ විදෙස් රටවලට ද බෙදා හැරීම සිදු කර තිබේ. තේ කුඩු සහ ඇඟලුම් අපනයනය කරන මුවාවෙන් මත්කුඩු එසේ පිටරටවලට යවා තිබේ.

කැලණිය, බියගම, සිංහාරමුල්ල පාරේ අංක 875 ස්ථානයේ පිහිටි මෙම කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානය කුලියට ගෙන ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයකු විසින්ය.පාකිස්තාන් ජාතිකයන් දෙදෙනකු එහි සේවයට යොදා තිබී ඇත.

අක්කර භාගයක පමණ විශාලත්වයෙන් යුත් ගොඩනැගිල්ලක් සහිත මෙම භූමිය සිංහල ජාතිකයකුට අයත් එකකි. බ්‍රිතාන්‍ය ජාතිකයා ඔහුට ඒ සඳහා මසක කුලිය රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක් ගෙවා තිබේ.

මෙම ස්ථානයේ මත්කුඩු ගබඩාව ආරම්භ කර ඇත්තේ මීට වසරකට පමණ පෙරය. මීට පෙර ඔවුන්ගේ ගබඩාව කොළඹ ආමර්වීදියේ පවත්වාගෙන ගිය බව අනාවරණය වී තිබේ. මෙහි සේවය කළ පාකිස්තාන් ජාතිකයන් දෙදෙනා වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරටින් පලාගොස් ඇත.

වෙලේ සුදා පාකිස්තානයේ සිට එවන මත්කුඩු මෙරටදී බාරගෙන මෙරටට සහ විදෙස් රටවලට බෙදා හැරීම සඳහා පාකිස්තාන් ජාතිකයන් දෙදෙනාට සහාය වූ තවත් කණ්ඩායමක් ඇතැයි රහස් පොලිසිය සැක කරයි. ඔවුන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.