මහින්ද අගමැති අපේක්ෂක කිරීමේ සටන අද සිට.

1506026_889691004384689_5299110074365225723_n

එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස්  සන්ධානයේ අගමැති අපේක්ෂකයා කරවීමේ එකඟතාවකට එළැඹි පක්ෂ කිහිපයක් අද (9) සිය ස්ථාවරය රට හමුවේ හෙළිදරව් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා, ප්‍රජාතන්ත්‍රවාදී  වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා, ජාතික නිදහස් පෙරමුණේ  නායක විමල් වීරවංශ  මහතා සහ පිවිතුරු  හෙළ උරුමය නියෝජනය  කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගි වන මාධ්‍ය හමුවක් අද පුස්තකාල හා ප්‍ර‍ලේඛන ශාලාවේදී පැවැත්වෙයි.
අලුත් පක්ෂයක් බිහි කරනවා වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නැවත නගා සිටුවා සන්ධානයේ ඡන්ද බෙදීයාම වළක්වා ගැනීම  කෙරෙහි  මෙම පක්ෂ වැඩි අවධානයක් යොමු කර තිබේ. මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය බලා‍පොරොත්තු වන්නේ නම් මෙම තීරණය පිළිගැනීමට සන්ධානයේ  අනෙකුත් පක්ෂවලට මෙන්ම ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයටත් සිදුවන බවත්, මෙම තීරණය බැහැර කළොත්  විකල්ප ක්‍රියාමාර්ගයකට යොමු වීමට සිදුවන බවත් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
එසේම මෙම පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් මේ මස 18 වැනිදා නුගේගොඩදී රැළියක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. “මහින්ද සමග රට දිනවමු” තේමාවෙන් මෙම රැළිය පැවැත්වෙයි.