ගෝඨාභය ලග හිටියේ නිත්‍යානුකුල අලි: ඇමති වසන්ත කියයි.

TH25_GOTABAYA_SRI__1467619e

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී තිබෙනවා.

වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා  මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් එක් අලි පැටවෙකු නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලීන් දෙදෙනෙක් සිටියා. එතුමාගේ භාරයේ. සත්තු වත්තට එතුමා කැමැත්තෙන් භාර දීලා තිබෙනවා. මෙය වැටලීමක් නොවේ. පළමු අලි පැටවා හොඳ ශරීර සෞඛ්‍යකින් යුතුව අපි භාර ගත්තා. දෙවන අලි පැටවා පින්නවල ඉදලා ගිවිසුම් මත රැකවරණය දී බලාගන්න දීලා තිබු අලි පැටවෙක්. 2010 හෝ 2009 ඒ භාර  සිදුකරලා තිබුණේ. මේ වනවිට නැවතත් එතුමා ලිඛිතව භාරදීලා තිබෙනවා.

අනෙක් අලි පැටවාද ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පතක් යොමු කර තිබූ බවයි වසන්ත සේනානායක මහතා පැවසුවේ. එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අලි පැටවුන් ළඟ තබාගත් බවට ඇතැම් පාර්ශ්ව කළ චෝදනා පිළිගත නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා අතින් නීති විරෝධී කටයුත්තක් මෙහිදී සිදුව නොමැති නමුත් මෙම අලි පැටවාගේ මුල් භාරකරුවන් පිළිබඳව සොයා ගැනීමක් සිදු කරන බවද වසන්ත සේනානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නීති විරෝධී ලෙස අලි පැටවුන් රඳවාගෙන සිටින බවට සැක කෙරෙන ස්ථාන 20ක් මේ වන විට හඳුනාගෙන ඇති බව වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසනවා. ඉදිරියේදී අදාළ ස්ථාන වැටලීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.