පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.

James Packe

කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ.

ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය අත්හැරීමට එම සමාගම තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා රජය සිය ව්‍යාපෘතියට ලබා දී තිබූ බදු සහන ඉවත් කිරීම හේතුවෙනි.

ක‍්‍රමෝපාය සංවර්ධන පනත යටතේ ආරම්භ කිරීමට අවසර දී ඇති හෝටල් ව්‍යාපෘතීන් හි කැසිනෝ පවත්වා ගෙන යාම තහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එම ව්‍යපෘතීන් සඳහා ලබාදී ඇති බදු සහන ද කපා හරින බවයි අතුරු අයවැයේදී ප‍්‍රකාශ කෙරුණේ.

කෙසේ නමුත්, ජේම්ස් පැකර්ගේ ශ‍්‍රී ලංකා කැසිනෝ ව්‍යාපෘතියේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සදහන් කර තිබෙන්නේ කැසිනෝ නොමැතිව හෝ වෝටර්ෆ‍්‍රන්ට් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවයි. එමගින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අතුරු  අයවැයෙන් ප‍්‍රකාශිත බදු සහන සංශෝධනවලට අනුව දුෂ්කරතා ඇති විය හැකි නමුදු එය තවදුරටත් සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවයි.