L:T:T:E සිරකරුවන් නඩු නැතුව නිදහස්.

Anuradhapura_New

වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග එකඟ වූ බව මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ පැවසූහ.
පසුගියදා 25 වැනිදා කොළඹදී ජනාධිපතිවරයා හමුවූ රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ, 26 වැනිදා අදාළ දෙමළ දේශපාලන සිරුකරුවන් බැලීමට පැමිණියහ.
එසේ‍ ගොස් යළි මන්නාරමට පැමිණීමෙන් පසුව මන්නාරම් රදගුරු නිවසේදී රදගුරු හිමිපාණෝ මේ බව පවසා සිටියහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්නාරම් රදගුරු හිමිපාණෝ, තමන් සහ ජනාධිපතිතුමන් 25 දා කොළඹදී මෙම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව පැවසූහ.
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන් අවස්ථා දෙකකදී ජනාධිපති පොදු සමාවක් දී නිදහස් කළ ආකාරයට මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන මෙන් තමන් ඉල්ලා සිටි බවත් හිමිපාණෝ පැවසූහ.
එම අවස්ථාවේදී ජනාධිපතිවරයා බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් පරිදි මෙම දෙමළ දේශපාලන සිරකරුවන් මාස තුනක් ඇතුළත නිදහස් කිරීමට නොහැකි බවත්, නමුත් වසරක කාලයක් ඇතුළත නිදහස් කිරීමේ හැකියාවක් ඇති බවත් පවසා සිටි බව රදගුරු හිමිපාණෝ සඳහන් කළහ.
එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්‍ෂකයෙකු වශයෙන් සිට තමන් හමුවීමට මන්නාරම් රදගුරු නිවසට පැමිණි අවස්ථාවේදීද මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවද, එහිදීද මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට එකඟ වූ බවත් රදගුරු හිමිපාණෝ කියා සිටියේය.
දැනට වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල දෙමළ දේශපාලන සිරකරුවන් 500 ක් පමණ දෙනා සිරගතව සිටින බවත්, තමන් ජනාධිපතිවරයා හමු වී ආපසු එන අවස්ථාවේදී වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල සිරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමු වී ජනාධිපතිවරයාගේ එකඟතාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කළ බවටත් මන්නාරම් රදගුරු හිමිපාණෝ වැඩිදුරටත් පවසා සිටියහ.