අතුරු අය වැය අද

65

භාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙනවා.
මෛත්‍රී පාලනයක් යටතේ බිහි වූ නව රජය ජනතාවට සහන ලබාදීමේ අරමුණින් අද (29දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අයවැය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී හෙතෙම මේ බව සදහන් කර තිබේ. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වා ඇති අමාත්‍යවරයා,
‘භාණ්ඩ රැසක මිල අඩුවීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයාගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවෙනවා. මෙතරම් සහන ලබාදුන්නත්, ඒ වෙනුවෙන් සත පහකින්වත් දුප්පත් ජනතාවට හානියක් වන බදු බර වැඩි වෙන්නේ නැහැ. ඒ වගේම, දැනට පවතින අයවැය හිඟයත් සත පහකින්වත් වැඩි වීමට ඉඩ තබන්නේ නැහැ. එහිදී, අතුරු අයවැයට අවශ්‍ය මුදල් පසුගිය කාලයේ සිදුවූ මහා දූෂණ වංචා අනාවරණය කරගනිමින් එක් පැත්තකින් අපට සොයාගැනීමට හැකිවුණා. ඒ වගේම, විශාල ව්‍යාපෘතිවලට අති දැවැන්ත මුදල් ඉහළ පොලීවලට වෙන්කර තිබුණා. ඒවායිනුත් විශාල මුදලක් අපිට එකතු කරගැනීමට හැකි වී තිබෙනවා’ යැයි පවසා තිබෙනවා.

අතුරු අය වැය පිළිබද අදහස් දක්වන විපක්ෂ කණ්ඩායම් පවසන්නේ සංවර්ධන කටයුතු සදහා වෙන්කර තිබු මුදල් මෙලෙස ඉදිරි මැතිවරණය ඉලක්කකර සහන ලෙස ලබා දිම රටක ඉදිරි ගමනට සුබදායක නොවන බවයි.බඩ ගැන පමණක් සිතා කටයුතු කරන ජාතියක් බවට මෙරට වැසියා පත්කිරිමට මේ කටයුතු හරහා රජය සුදානම් වන බවටද ඔවුන් චොදනා කරයි.