රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

Rajitha Senaratne

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පවත්වා ගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

ඒකාබද්ධ අරමුදලට බැර විය යුතු මුදල් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමින් ආරක්ෂක අමාත්‍යංශයේ ගිණුමක පවත්වා ගෙන යාම නීති විරෝධී බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.
හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකා බැංකුවේ තැප්රෝ‍බේන් ශාඛාවේ පවත්වා ගෙන ගිය ගිණුමක පැවති රුපියල් බිලියන 8 කට ආසන්න මුදලක් මහ භාණ්ඩාගාරය යටතට ගැනීමට කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානයක කළ අනාවරණයෙන් අනතුරුවයි මෙම අන්දෝලනය ඇති වුයේ.

හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ පසුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ අදාළ ගිණුම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරක්ෂක අමාත්‍යංශය පවත්වා ගෙන ගිය එකක් බවයි.
අදාළ ගිණුමේ ඇත්තේ යුධ හමුදා මුලස්ථාන ඉඩම විකිණීමෙන් ලැබුණු මුදල බවත් එම මුදල් යොදා ගෙන පැලවත්තේ හමුදා මූලස්ථානයක් ඉදි කර ගෙන යන බවයි ඔහු සඳහන් කර තිබුනේ.

රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය උල්ලන්ඝනය කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කිරීම සඳහා නව ආරක්ෂක ලේකම්වරයා හා හමුදා ප්‍රකාශකවරයා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කර ඇති බව පැවසූ අමාත්‍ය රාජිත සේනාරත්න එම ප්‍රකාශ නිවැරදි නොවන බවයි පැවසුවේ.

” හමුදා ප්‍රකාශකවරයා කියනවා, ඒ මුදල් නැවත භාණ්ඩාගාරයට යැව්වේ, මේ රජයේ අළුත් ප්‍රතිපත්තිය උඩ

කියලා, එයා දන්නේ නැහැ රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය මොකක්ද කියලා, ඒවා වෙනස් කරන්න බැහැ කාටවත්, එයා හමුදා නිලධාරියෙක් නිසා දන්නේ නැතුව ඇති මොනවාද කතා කරන්නේ කියලා”
මාධ්‍ය ප්‍රකාශ වලට රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධාන

රජයේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නොදැන ආරක්ෂක ලේකම්වරයා හා හමුදා ප්‍රකාශකවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වා තිබෙන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසුවේ.

මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් මින් පසු මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමේදී රජයේ ආයතන සංග්‍රහයේ විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවට තීන්දු කළ බවද පැවසුවේය.

රජයේ නිලධාරියෙක් අමාත්‍යංශ ලේකම්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් බවයි රජයේ ආයතන සංග්‍රහයේ සඳහන් වන්නේ.

මෙමගින් මාධ්‍යවේදීන්ට තොරතුරු ලබා ගැනීමට අවහිරයක් සිදු නොවේදැයි විමසු විට අමාත්‍යවරයා පැවසුවේ මාධ්‍යයට තොරතුරු ලබා දීමේ බාධාවක් නොමැති බවයි.

යුද්ධය අවසන් වී ඇති නිසා හමුදා, නාවික හා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුරු අහෝසි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා යුධ හමුදාව නිවේදනය කළේ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක රුවන් වනිගසූරිය එම තනතුරින් ඉවත් කර ඒ වෙනුවෙන් යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පත් කරනු ලැබ සිටින බවයි.