අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

7764476141_le-diesel-representait-80-des-carburants-consommes-en-france-en-2012

ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස්වී ගනු ලැබූ තීරණයකට අනූව මෙම මිල පහත දැමීම සිදුවී තිබෙනවා.

ඉදිරියේදී ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ගණන් වෙනස්වීම හා වෙනත් වෙළඳපොළ ක්‍රියාකාරකම් මත පදනම්ව රටේ ආර්ථිකයට ගැළපෙන අයුරින් ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ මුදල් අමාත්‍යතුමාගේ උපදෙස් මත ඉන්ධන සඳහා කඩිනමින් මිල සූත්‍රයක් හඳුන්වා දෙන බවද විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටියා.

ඉන්ධන මිල අඩු වීමත් සමග පෞද්ගලික බස් ගාස්තු සියයට 7ත් 08ත් අතර ප‍්‍රතිශතයකින් අඩු කිරීමට සුදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ අවම බස් ගාස්තුව ද රුපියල් 09 සිට රුපියල් 08ක් දක්වා රුපියලකින් අඩු කිරීමට සුදානම් බවයි.

සියයට හතත් සියයට අටත් අතර ප‍්‍රමාණයකින් බස් ගාස්තු අඩු කිරිමේ හැකියාව තිබෙන ප‍්‍රතිශතය සියයට 8ත් 7ත් අතර ප‍්‍රමාණයක්. මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසන් සභාව මේ තියෙන බස් ගාස්තු පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තියේ තිබෙන නිර්නායකයන් ගණනය කිරීමේදී ඉන්ධනවලට පමණක් එය ගණනය කරලා ජාතික ගමනාගමන කොමිසන් සභාව ප‍්‍රකාශයට පත් කරයි නිවැරදි සත්‍ය ප‍්‍රතිශතය. අපි ඒ සඳහා අවසරය ලබාදී තිබෙනවා. අවම ගාස්තු සංශෝධනයට ලක්වෙනවා. රුපියල් 9 ගාස්තුව රුපියල් 8 දක්වා අඩු වෙනවා.

මගී ජනතාවට සහනයක් හිමිවනවා සේම බස් හිමියන් මුහුණ පා ඇති ගැටළුවලට ද විසඳුම් ලබාදිය යුතු බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

අපි පූර්ණ අඩු කිරීමක්, ඒ කියන්නේ පූර්ණ සහයෝගයක් ලබාදෙනවා ඒ ඉන්ධන මිල අඩු කිරීමේ වාසිය ජනතාවට ආණ්ඩුව ලබාදිය යුතුයි කියලා. එය ජනතාව අපේක්ෂා කරපු දෙයක්. එසේම සංගමයක වගකීම තමයි ඒ ප‍්‍රතිලාභය ජනතාවට ලබාදීම. එසේම අපි කියනවා කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් අපට විශාල ගැටලූ සහගත තත්ත්වයක් තිබෙනවා. ඒ සඳහා ආණ්ඩුව අවධානය යොමු කළ යුතුයි. පසුගිය කාලයේ වැඩි කරන ලද අපට වැඩි කරන ලද ගාස්තු අඩු කිරීමට ආණ්ඩුව වහාම  කටයුතු කළ යුතුයි.
මේ අතර තවදුරටත් වැඩි මිල ගණන්වලට ඉන්ධන අලෙවි කරන්නේ නම් හෝ ඉන්ධන හිඟයක් පවතින්නේ නම් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා දුරකථන අංක 04ක් සහ ෆැක්ස් අංක දෙකක් අමාත්‍යංශය විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවා. ඒ අනුව 0115-24 32 43 යන ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ඊට අදාල පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. එමෙන්ම 0115-455 130, 0115-455 251 සහ 0115-455 254 සෙසු දුරකථන අංක වනවා.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල අඩුවීමේ සම්පූර්ණ සහනය ආණ්ඩුව ජනතාවට ලබාදී නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්ධන මත පනවා ඇති බදු සම්පූර්ණයෙන් ඉවත් කළා නම් මීට වඩා අඩු මිලකට ඉන්ධන ලබා දිය හැකිව තිබු බවයි. විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඇත්තටම ගත්තොත් මේගොල්ලෝ කිව්වේ තෙල්වලට තිබෙන හැම බද්දක්ම අයින් කරනවා කියලා. අපි අහනවා තෙල් පිළිබඳ ඇමැතිවරයාගෙන් දැන් මේ රටේ ඉන්ධන සඳහා කිසිදු බද්දක් අය වෙන්නේ නැද්ද කියලා. අද ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ඉතා සීග‍්‍රයෙන් පහළ වැටී තිබෙනවා. මිටත් වඩා අඩු ගාණට දෙන්න පුළුවන්. මේ දෙන්නේ ඒ නියම අඩු ගාණට නෙවෙයි. රුසියාව අස්ථාවර කරන්න එක්සත් ජනපදය කෘතිමව තෙල් මිල අඩු කරලා තියෙනවා. ඒක අපි දන්නේ නැහැ තව කොච්චර කාලයක් තියෙනවද කියලා. ඒ තෙල් මිල අඩුවීමේ සම්පූර්ණ සහනය ජනතාවට දී නැහැ. එසේම ඔවුන් කිව්වා මේ තෙල්වලට ගහන බදු අයින් කරනවා කියලා. එහෙම සම්පූර්ණයෙන් ඒ බදු ඉවත් කරලත් නැහැ. යම්කිසි තෙල් මිල ලෝකයේ අඩුවී තිබෙන මට්ටමත් සමග දෙන්න පුළුවන් සහනයෙන් කොටසක් දී තිබෙනවා. තවමත් බදු ගහනවා තෙල්වලට. අපි කියනවා ඒ විෂය භාර ඇමැතිවරයාට පුළුවන් නම් කියන්න මේ රටේ තියෙන ඉන්ධනවලට ඔබතුමා කියපු විදිහට බදු අය කරන්නේ නැද්ද අය කරනවද කියලා.