පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.

Pope Francis

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13)  ආරම්භ වීමට නියමිතව තිබේ.

හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව උන්වහන්සේ මෙරටට පැමිණෙයි.

පාප්වහන්සේගේ විශේෂ දේව මෙහෙය අනිද්දා දිනයේදී ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.

පාප්වහන්සේ සංචාරය තුළ උන්වහන්සේ මඩු පල්ලියේ පැවැත්වෙන විශේෂ දේව මෙහෙයකට ද සහභාගී වීමට නියමිත බව වාර්තා වුණි.

මේ අතර පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව පාප්වහන්සේගේ සංචාරය නිමිත්තෙන් කොළඹ – මීගමුව මාර්ගය අද(12)  පස්වරු 6.00 සිට වසා තැබෙන අතර මෙම දින කිහිපය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසුවේය.

මේ අතර අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් ආරක්ෂක රාජකාරි සඳහා යොදවනු ලබන නිලධාරීන්ගේ නවාතැන් ගන්නා ස්ථාන වශයෙන් පාසල් 46ක් ලබන 15 වන දින දක්වා වසා තැබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ කුරුඳුවත්ත, කොල්ලුපිටිය, බම්බලපිටිය, නාරාහේන්පිට, බොරැල්ල, කොටහේන, ග්‍රෑන්ඩ්පාස්, දෙමටගොඩ, මාලිගාවත්ත, සහ මරදාන යන ප්‍රදේශවල පාසල් ඊට ඇතුළත් බව .

එම පාසල් යළි විවෘත වන්නේ ලබන 16 වැනිදාය