කේ: පී ලංකාවේ “හින්දු” කියයි.

Kumaran Pathmanathan

එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා.

කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා කෙරිණ.

කෙසේ වුවද ඔහුගේ දුරකථනයට ඇමතු ඉන්දීය මාධ්‍යවේදියෙකුට කේ.පී පවසා ඇත්තේ තමන් තවමත් කිලිනොච්චියේ රැඳි සිටින බවයි.

තමාට රට හැරයාමට උවමනාවක් නැතැයි හෙතෙම පවසා ඇත.

නව රජය තමා සම්බන්ධයෙන් කවර ක්‍රියාමාර්ගයක් ගනු ඇත්දැයි නොදන්නා බවද ඔහු කියා තිබේ.

තමන් කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යමින් සිටින බවත්, නව රජය තමාගේ එම මානුෂික මෙහෙයුම් කටයුතු සඳහා සහය දෙනු ඇති බවත්, හෙතෙම පවසා ඇත.

කේ.පී නොහොත් කුමරන් පද්මනාදන් ඉන්දීය අගමැතිවරයෙකු වූ රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් එරටට අවශ්‍ය කර සිටින පුද්ගලයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පසුගියදා ඉන්දියාවේ “ ද හින්දු” පුවත්පත වාර්තා කළේ කේ.පී අතුරුදන්ව ඇති බවකි.

“අපිට වාර්තාවෙලා තියෙනවා ඔහු වී.අයී.පී පර්යන්තය උපයෝගි කරගනිමින් පලාගොස් ඇති බව අපි ඒ ගැන පරීක්ෂණ කරනවා” යැයි රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශයක් පාදක කර ගනිමින් හින්දු පුවත්පත එකී පුවත වාර්තා කර තිබිණ.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර පොලීසියේද සහය ඇතිව මලයාසියාවේදී කේ.පී අත්අඩංගුවට ගැනීමට පෙර ඔහු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස නම්දරා සිටියේය.

කෙසේ වුවද ඔහු මේවන විට ආරක්ෂක අංශ රැකවරණ මැද කිලිනොච්චියේ ළමා නිවාසයක් පවත්වාගෙන යමින් සිටියි.