සා:පෙ අදයි..

21-22nd-June-SK-048
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වෙයි.

දෙසැම්බර් මස 18 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

එම කාලය තුළ උදේ වරුව සහ සවස් වරුව වශයෙන් විභාගය පැවැත්වෙයි.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 370, 739 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ 6481 දෙනෙකු සහභාගි විමට නියමිතය.

විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් 540 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටින අතර බන්ධනාගාර රැඳවූවන් සඳහා ද විභාග මධ්‍යස්ථාන වෙන්කර ඇත.

මේ අතර විභාගය අවසන් වන තෙක් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සම්මන්ත්‍රණ, දේශන හෝ උපකාරක පංති පැවැත්වීම තහනම් කර ඇත.

විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලූ කටයුතු මේ වන විට සුදානම් කර ඇති බවයි වාර්තාවන්නේ.

විභාගය දිනපතා උදෑසන 08.30ට ආරම්භ වන අතර කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස්වරයා අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ.  විභාගයට පැමිණෙන සියලූ අපේක්‍ෂකයින් අනුමත හැඳුනුම්පතක් රැගෙන ආ යුතු බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

විභාගය සදහා පැමිණෙන විට අනන්‍යතාවය තහවුරු කිරීමට  වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ පුරවැසි හැදුනුම්පත අනිවාර්යෙන් රැගෙන ආ යුතුය. ඒවගේම විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබෙන විභාග ප්‍රවේශ පත්‍රය අනිවාර්යෙන් රැගෙන ඒම අත්‍යවශ්‍යයි. ප්‍රවේශ පත්‍රයේ අත්සන සහතික කිරීමට තිබෙනවා. එම අත්සන සහතික කිරීමත් නොවරදවාම කලයුතු කාර්යයක්.

විභාගය සම්බන්ධයෙන් හෝ විභාග මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විභාග ශාලාවක සිදුවන වංචා සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 2 78 52 11  සහ 2 78 52 12  යන අංක හෝ 1911 ක්‍ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක‍්‍රියාත්මක බවද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බාධා වන අයුරින් පෙලපාලි රැස්වීම් හෝ වෙනත් කිසිඳු කටයුත්තක් සිදුකිරීම තහනම් බව පොලිසිය පවසනවා.
විභාගයට බාධා වන අයුරින් කිසියම් අයෙකු කටයුතු කළ හොත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සියලූම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා  පැවසුවේ.