මහින්දාගමනයට තිස්ස එක්වෙයි….

Tissa atta

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ගිය හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා තම පක්ෂයට පැමිණ ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා සඳහන් කළේ එය එජාපයේ නායයෑමේ ආරම්භය වන බවයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදීමෙන් අනතුරුව ජනතාව අමතමින් රජාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පැවසුවේ අපේ පක්ෂයේ ලේකම් ඒ පැත්තට යන කොට එහෙන් ලේකම් කෙනෙක් මෙහාට ගෙන්වා ගැනීමට ඒ තරම් අපහසුකාරියක් නොවන බවයි.

කෙසේ වෙතත් එන අයට එන්නටත් යන අයට යන්නටත් ආණ්ඩු පක්ෂයේ දොර තාමත් විවෘතව පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

විපක්ෂය පුද්ගලයින් සමග එකතු වන විට තමන් දේශපාලන පක්ෂ සමග එකතු වන බවත්, විපක්ෂය පුද්ගල ප්‍රතිරූප සරණ යන විට තමන් දේශපාලන ප්‍රතිපත්ති මත පිහිටා ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රීලනිපයේ හිටපු මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණට තරඟ කිරීම ප්‍රකාශයට පත්වීමත් සමග එක්සත් ජාතික පක්ෂය තුළ මතභේද උද්ගත විය.

ඒ අනුව තිස්ස අත්තනායක මහතා ප්‍රමුඛ කිහිපදෙනෙකු ආණ්ඩුවේ ප්‍රබලයන් සමග සාකච්ඡා ආරම්භ කරන ලද බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස අද (08) දින හෙතෙම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදෙන බවත් වාර්තා විය.

කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී තම තීරණය නිල වශයෙන් රටට දැනුම්දීමට නියමිතය.