පළමු වරට ජාතික විද්‍යා සතියක් නොවැම්බර් 04 සිට.

පළමු වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කෙරේ - shamika.melan@gmail.com - Gmail

 ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර තිබේ.

මාධ්‍ය නිවේදනය:

විශේෂ විද්‍යා කලාපයක් හා විද්‍යා පාගමනක්

සාම්ප්‍රදායිකව අනුගමනය කළ විද්‍යා දින සැමරුම් සංකල්පයෙන් ඔබ්බට ගොස් ශ්‍රී ලංකාවේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික විද්‍යා සතියක් ප්‍රකාශයට පත්කිරීමට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

2014 නොවැම්බර් 04 සිට 10 වනදා දක්වා ජාතික විද්‍යා සතිය නම්කර ඇති අතර ඊට සමගාමීව විශේෂ විද්‍යා කලාපයක් අමාත්‍යාංශයට අනුබද්ධ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) මූලිකව බෞද්ධාලෝක මාවත, නිදහස් චතුරස්‍රය පරිශ්‍රය අවට භූමියේ ක්‍රියාත්මකය.

මෙම කලාපය තුළ විද්‍යා ප්‍රදර්ශන, විවිධ නව නිපැයුම්, ජල රොකට් තරඟ, ජෝතිෂ්‍ය හා විද්‍යාව පිළිබඳ සංවාද, විද්‍යා චිත්‍රපට, විද්‍යාත්මක දේශන හා වැඩමුළු, විද්‍යාවේ නව සොයාගැනීම් පිළිබඳ තොරතුරු හා ග්‍රහලෝකාගාර නැරඹුම් දර්ශනද ඇතුළත්ය.

විද්‍යා සතියට සමගාමීව ජාතික විද්‍යා පාගමනක් සංවිධාන කොට ඇති අතර නොවැම්බර් මස 08 වන සෙනසුරාදා දින පෙ.ව. 7.30 ට විද්‍යා පාගමන මේට්ලන්ඩ් පෙදෙස, කොළඹ 07 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපසින් ආරම්භ වී නිදහස් වටරවුම, කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපසින් ගමන්කොට තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ කාර්මික තාක්ෂණ ආයතන පරිශ්‍රය කරා ළඟාවීමට නියමිතය. මේ සඳහා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු පාඨළී චම්පික රණවක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාඥයින්, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා නිළධාරීන්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් ද සහභාගීවේ.

ජාතික විද්‍යා කලාපය තුළ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය, ශ්‍රී ලංකා ගණකාධිකාරී ආයතනය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ඉදිකිරිම් පුහුණු හා සංවර්ධන ආයතනය, භෞතික විද්‍යා ආයතනවල ප්‍රදර්ශණ කුටි පැවැත්වෙන අතර අවට කලාපයේ ප්‍රධාන පාසල් ළමුන් කේන්ද්‍ර කරගනිමින් විශේෂිත වූ දේශන පැවැත්වීමද සිදු කෙරේ.

විද්‍යා කලාපය නැරඹීමට සහ නොවැම්බර් 08 වන දින උදෑසන පැවැත්වෙන විද්‍යා පා ගමන සඳහා සහභාගීවීමට තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ නියැලෙන සියළුම දෙනාටත් විද්‍යාව හා නව නිර්මාණ කෙරෙහි ඇල්මක් දක්වන ඔබටත් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය ඉතා ගෞරවයෙන් ආරාධනා කර සිටී.