ඌවට දැඩි රැකවල් ඉල්ලයි..

 

STF

ඌවට දැඩි රැකවල් ඉල්ලයි..

ඌව පළාතේ ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් සිදුවන ප්‍රදේශවලට ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට දැනුම් දී ඇත. දේශපාලන පක්ෂ කාර්යාල කඩා දැමීම, මැතිවරණ රැස්වීම් වේදිකා කඩා බිඳ දැමීම ආදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා රාශියක් පිළිබඳ කොළඹ මැතිවරණ මහ‍ලේකම් කාර්යාලය වෙත පැමිණිලි රැසක් ලැබි ඇති බැවින් මේ පිළිබඳ වහාම මැදිහත් වී සොයා බලන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා උපදෙස් දී තිබේ.
මීට සමානවම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු වන බැවින් ඒ පිළිබඳ ද මැදිහත් වන ලෙස ‍පොලිස්පතිවරයාට දැනුම් දී ඇති කොමසාරිස්වරයා එම ප්‍රචාරන පුවරු හා ‍පෝස්ටර් ඉවත් කිරීමට තවත් මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍ය නම් එය ලබාදිය හැකි බවද දැනුම් දී ඇත.
තවද ඌව පළාතේ ‍පොලිස් ස්ථානයන්හි පිහිටුවා ඇති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථාන වෙත උප ‍පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු සහ ‍පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු පිට ප්‍රදේශවලින් අනුයුක්ත කරන ලෙසද මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිතව දන්වා යවා තිබේ. ඊට අමතරව ජංගම මුර සංචාර වැඩි කරන ලෙසත් මැතිවරණ රාජකාරි සඳහා ඌව පළාතින් පිටත ‍පොලිස් ස්ථානයන්ගේන උප ‍පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරු තිදෙනකු කැඳවා අනුයුක්ත කරන ලෙසත් කොමසාරිස්වරයා දැනුම් දී ඇත.
නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙන්ම ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම අඛණ්ඩව කරන ලෙස ද මැතිවරණ කොමසාරිස්වරයා ඊයේ (26) ‍පොලිස්පතිවරයා වෙත දන්වා යවා තිබේ.