උෟවේ මැතිවරණ නීති කැඩීම් 113ක්.

ballot_box

උෟව පළාත් සභා මැතිවරණයට නාම යෝජනා භාර දුන් දා සිට ඊයේ (24දා) පෙරවරුව දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 113ක් වාර්තා වී ඇතැයි කියන මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය, නීති විරෝධී ප්‍රචාරක කටයුතු වැලැක්වීමට බලධාරීන් අපොහොසත් වුවහොත් මැතිවරණ නීතිය දේශපාලන බලයට යටවී පොතට සීමා වන බවද සඳහන් කරයි.

විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර ඇති අන්දමට ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක අනුර කුමාර වික්‍රමසිංහ මහතාගේ ඔබ්බේගොඩ සහ වාකන්ද ප්‍රදේශවල තිබූ මැතිවරණ කාර්යාල දෙකකට ගිනි තබා විනාශ කර, දඹගල්ල සහ මාරිඅරාව – බුත්තල, කුඩාඔය ප්‍රදේශවල මැතිවරණ කාර්යාල දෙකකට පහර දී හානි කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක ඩබ්ලිව්. ඇම්. ප්‍රියන්ත කුමාර මහතාට එ. ජ. නි. සන්ධානයේ ආධාරකරුවන් බව කියන පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇති බවද, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක චන්දන ඩී. ගමගේ මහතාට සහ ඔහුගේ ආධාරකරුවන්ට ගිනිඅවි පෙන්වා තර්ජනය කර පහර දී ඇති බවද මැතිවරණ නිරීක්ෂණ ජාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

බදුල්ල උෟව පරණගම, ගලගම පදිංචි එ. ජා. ප. ආධාරකරුවකුගේ වෙළෙඳසලකට සහ ත්‍රිරෝද රථයකටද සන්ධානයේ ආධාරකරුවන් යැයි කියන පිරිසක් විසින් පහර දෙනු ලැබ ඇතැයිද නිවේදනයේ දැක්වේ.

මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය නිලධාරීන් නිරන්තරයෙන් යොදා ගෙන ඇති බවට වාර්තා වේ. බිබිල ප්‍රදේශයේ එ. ජ. නි. ස. කාර්යාලයක සංග්‍රහ කටයුතුවලට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළුන් යොදවා සංග්‍රහ කටයුතුවලට අවශ්‍ය පිඟන්, කෝප්ප සහ වෙනත් උපකරණ රාජ්‍ය ආයතනයකින් බලෙන් ලබාගෙන ඇතැයිද මැතිවරණ නිරීක්ෂණ ජාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.