උණ්ඩ හමුවූ යාපනේ ඉඩම කොටින්ගේ ආයුධ ගබඩාවක් බවට සැක..

ltte weapons and bullets 2



යාපනය, තාවඩි, අයියනාර් කෝවිල ආසන්නයේ පැරැණි ඉඩමක තිබී ටී 56 උණ්ඩ සොයාගත් ඉඩම පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ආයුධ ගබඩාවක් විය හැකි බවට අරක්ෂක අංශ සැක පළ කරයි.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් ඊයේ (07දා) හා පෙරේදා (06දා) සිදුකළ පරීක්‍ෂණවලදී ටී. 56 උණ්ඩ 5000ක් පමණ ප්‍රමාණයක්, ගුවන් නාශක උණ්ඩ කොපු තොගයක්, අත් බෝම්බ සෑදීමට යොදා ගන්නා ප්ලාස්ටික් ආවරණ කොටස් කිහිපයක් සොයාගත් බැව් චුන්නාකම් පොලිසිය පවසයි.
එම ඉඩම මිලදී ගත් පුද්ගලයකු එහි වගා කටයුතු සඳහා සකස් කරද්දී ඉඩමේ සැක සහිත යමක් දැක ඇති අතර, ඒ සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය හා යුද හමුදා නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව උණ්ඩ ඇතුළු භාණ්ඩ සොයාගත් බව පොලිසිය කියයි.

මල්ලාකම් අධිකරණයේ නියෝග මත අදාළ ස්ථානයේ සෝදිසි කිරීම් කටයුතු කළ බැව්ද චුන්නාකම් පොලිසිය පැවැසීය.
පසුගිය යුද සමයේ ඉඩම පිහිටි ප්‍රදේශය යුද ක්‍රියාකාරකම් පැවැති ප්‍රදේශයක් බැව්ද පොලිසිය පැවැසීය.
චුන්නාකම් පොලිසිය පැවැසුවේ සොයාගත් උණ්ඩ තොගය යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කළ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක සමීර කරුණාරත්න මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.