“මේ මාර්ගය නැත්නම් අනාගතයක් නැහැ” – ජනාධිපති

ආර්ථිකය ගොඩගැනීම සඳහා අනුගමනය කරන මාර්ගය හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (03) කොළඹ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, සහන දිය හැකි යැයි පවසන පිරිස් ඊට IMF සහයෝගය ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතු බවය.

“ශිල්ප අභිමානි” ජාතික හස්ත කර්මාන්ත ජනාධිපති සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී විශිෂ්ට නිර්මාණකරුවන් සම්මානයට පාත්‍ර වුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“අපිට තිබුණු අමාරු කාලයේදීත් ආදායම් වැඩිකරගත්තා. මේ වසරේදී වර්ධන වේගය 2%ක් කිරීම අපේක්ෂාව. 2025 වසරේදී 5%ක් ඇති කළ හැකියි. අපි හැම වේලාවේම මුදල් අච්චු ගැහුවා, බැංකු ණය ගත්තා.. ඒකෙන් රුපියල බාල්දු වුණා. බැංකුවලින් ණය ගැනීමෙන් රජයේ බැංකු කඩාවැටෙන තත්ත්වයකට පත්වුණා. ඒ නිසා අපි ණය නොගැනීමටත් මුදල් මුද්‍රණය නොකිරීමටත් එකඟවුණා. එකම මාර්ගය… වැට් බදු වැඩිකිරීම. ඒ නිසා රුපියල ශක්තිමත් වෙනවා. මම ඇතුළු හැමෝටම බර දරාගන්න වෙනවා. මේ මාර්ගය නැත්නම් අනාගතයක් නැහැ. සමහරු අඩුකරන්න කියනවා. අඩු කළාම ගෙවීම් කරන්නෙ කොහොමද?. මේක අමාරු ගමනක් – ජනප්‍රිය වැඩක් නෙවෙයි. මේ හැර වෙන විකල්ප නැහැ. සහන දෙන්න පුළුවන් කියනවා නම් IMF සහයෝගය ලබාගන්නේ කොහොමද කියන්න. තෙල් , පොහොර නැති ආර්ථිකයකට නැවත යා නොහැකියි.”


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *