යෝෂිතගේ ඇප අයැදුම සලකා බැලීම 29ට කල්යයි.

yoshitha rajapaksa

යෝෂිත රාජපක්ෂ මහතාගේ ඇප අයැදුම ලබන 29දා කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින නාවික ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනෙකු ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව පෙත්සම් වලට අදාළ විරෝධතා ඇත්නම් ඒවා මේ මස 29 ට පෙර ඉදිරිපත් කරන මෙන් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පොලිස් අපරාධ කොට්ඨාසයට හා නීතිපතිවරයාට අධිකරණය විසින් නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් භාරයට පත්කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගය ඇප පනතේ විධිවිධාන වලට පටහැණි බවයි.

එම නිසා සැකකරුවන් වහාම ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර් හෙයියන්තුඩුව මහතා පෙත්සම මේ මස 29 වන දින විභාගයට ගැනීමට අවසර ලබාදුන් අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනුව කැඳවීමටද තීරණය කර තිබේ.

එසේම මෙහිදී පෙත්සම්කාර පාර්ශවය යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් ප්‍රථම වතාවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජනවාරි මස 30 දා එම නඩුවට අදාළ සටහන් ලිඛිතව සටහන් කර ඇති බවත්, එසේ වුවද එදින කිසිදු ලඝු ලේඛිකාවක් නොසිටි බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින්  මහාධිකරණ විනිසුරු කියා සිටියේ මහේස්ත්‍රාත්වරයෙකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමාට පරීක්ෂණයක් සිදුකළ නොහැකි බවයි.

ඒ පිළිබඳව අධිකරණ සේවා කොමිසම තීන්දුවක් ගත යුතු බව ද මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී සඳහන් කළේය.

කෙසේ වෙතත්අදාළ ලඝු ලේඛන සටහන් මහාධිකරණයට කැඳවා ආරක්ෂිතව රඳවා තබාගැනීමට අදාළව නියෝගයක් නිකුත් කරන බවද විනිසුරුවරයා කියා සිටියේය.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *