හදිස්සි නෑ… ජනපති “හින්දු” ට කියයි.

President of Sri Lanka Maithripala Sirisena

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිර්දේශ කරන ලද විශේෂ අධිකරණය “හදිසියේ” පිහිටුවීමේ අවශ්‍යතාවයක් ශ්‍රී ලංකා ආණ්ඩුවට නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ඉන්දියාවේ ” ද හින්දු” පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

විශේෂ අධිකරණය පිහිටුවීම සම්බන්ධයෙන් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා පවසා ඇත්තේ පළමුව කළ  යුත්තේ යුද සමයේදී සිදුවූ දෑ පිළිබඳ තක්සේරුවකට එළඹීම බවයි.

ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග වලට එළඹීම සුදුසු බව ඒ මහතා පවසා තිබේ.

“කවුරුත් අපිට මෙහෙම කරන්න කියලා නෑ”  කෙසේ වෙතත් ” අවශ්‍යතාවය අනූව කටයුතු කරනවා” එම යෝජනාව ” සාමුහික ක්‍රියාමාර්ගයක්”  යැයි පවසා ඇති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය හා අතුරුදන් වූවන් සම්බන්ධ පැමිණිලි ගැන සෙවීමට කමිටුවක් පත්කරන බවද කියා ඇත.

නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීම සම්බන්ධ කාරණය ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවේදී ඒ ගැන විශේෂ ප්‍රකාශයක් කරන බවයි.

ව්‍යවස්ථා විශාරදයින් හා සිවිල් සංවිධානවල අදහස් ද කැටිව අවසානයේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය හෝ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය ගැන අවධානය යොමු කරන බවත්, මීට අදාළ පුළුල් සංවාදයක් වසරක පමණ කාලයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවත්, විධායක ජනපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවේ තමන් දැඩිව සිටින බවත්, ඒ මහතා පවසා ඇත.

එසේම 13 වැනි සංශෝධනයෙන් බලය බෙදා ගැනීම කාරණය  ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එම කාරණය ද අදාළ සංවාදයෙන් පසුව අවසන් එකඟතාවයකට එන බවයි.