කොදෙව්වන් සටන අරඹයි.

224025

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි කොදෙව් කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලකුණු 66 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව ඔවුහු ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 418 ක් පසුපසින් සිටිති.

නොදැවී කඩුල්ලේ රැඳීසිටින ඩැරන් බ්‍රාවෝ ලකුණු 23 ක් හා මාලන් සැමුවෙල්ස් ලකුණු 07ක් රැස්කරගෙන සිටින අතර, රංගන හේරත් බිඳවැටුණු කඩුලු දෙකේ හිමිකරුවා විය.

ඊයේ (14දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමටතීරණය කළ අතර, ඒ අනුව ඔවුහු පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 484ක් රැස්කිරීමට සමත් වූහ. අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකාවකඩුලු 02 ක් දැවී ලකුණු 250 ක් රැස්කරගෙන සිටි අතර, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ලකුණු 135ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 72 ක් රැස්කරගෙන සිටියේය.

ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 238ක සබඳතාවක් ගොඩනගා සිටියදී දිමුත් දැවීගියේය. මාලන් සැමුවෙල්ස්ගේ පන්දුවක් හමුවේ ඔහු අතටම උඩපන්දුවක් ලබාදී දිමුත් දැවීයන විට ඔහු ලකුණු 186 ක් රැස්කරගෙන සිටියේය. දිමුත්ගේ මෙම ඉනිම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු කොදෙව්වන්ට එරෙහිව රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව (පෙර – මලින්ද වර්ණපුර/ 120) වේ. ඊට අමතරව ඔවුන් දෙදෙනා ගොඩනැගූ එම සබඳතාව, දෙරට අතර තෙවැනි කඩුල්ලට ගොඩගැගූ ඉහළම සබඳතාවද වේ. (මීට පෙර – 2001 වසරේදී, මහේල-සංගක්කාර/162).

ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු 425දී චන්දිමාල් ජෙරම් ටේලර්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ජර්මේයින් බ්ලැක්වුඩ් වෙත උඩපන්දුවක් ලබාදී දැවීයන විට ඔහුතම පස්වැනි ටෙස්ට් ශතකය (151) රැස්කරගෙන සිටියේය.ඉන් අනතුරුව පිටියට පිවිසි මිලින්ද සිරිවර්ධනටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, ශ්‍රී ලංකාවේ 131 වැනි ක්‍රීඩකයා ලෙස මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනූ ඔහු ඉනිමට ලකුණු දෙකක් පමණක් එක් වනවිට එක් ලකුණකට දැවී ගියේය.

කෙසේ නමුත් ඉන් අනතුරුව ඉනිමට තවත් ලකුණු 57 ක් එක්වනවිට සෙසු පිතිකරුවන්ද ක්‍රීඩාගාරයට හරවා යැවීමට කොදෙව් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරවාරයේ ලකුණු 48 ක් රැස්කරගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් 06 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. හෙට  (16දා) තරගයේ තෙවැනි දිනයයි.