මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

toyota-hiace-high-roof-front-view1
යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

එල්. ටී. ටී. ඊ. නායකයකු විසින් පරිහරණය කළ බව කියන මෙම වෑන් රථය යුද්ධය නිම වීමෙන් පසු යුද හමුදාව අතට පත් විය.

පසුව මෙම මේජර් ජෙනරාල්වරයා තම පරිහරණය සඳහා වෑන් රථය ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම වෑන් රථය අත්අඩංගුවට පත්වන විට එහි තිබූ ගිනි අවිය මේජර් ජෙනරාල්වරයාට නිකුත් කළ රාජකාරී ගිනි අවිය බවද තහවුරු වී ඇත. මේජර් ජෙනරාල්වරයා මෙම අවිය නිවසේ අමතක වී සේවයට පැමිණ ඇති අතර ඔහු ආරක්‍ෂකයන් තිදෙනා ලවා එය ආපසු ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි කියනු ලැබේ.

හමුදා සෙබළුන් තිදෙනා මිරිහාන පොලිසිය වෙත කොටු වී ඇත්තේ අවිය රැගෙන මේජර් ජෙනරාල්වරයා මුණ ගැසීමට යමින් සිටියදීය.

මේ අතර වෑන් රථයට සවිකර තිබූ අංක තහඩුව කැබ් රථයක අංක තහඩුවක්‌ බවද පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. එම කැබ්රථය කොටහේන ප්‍රදේශයේ වසා දැමූ පෞද්ගලික ආයතනයකට අයත්ව තිබූ එකක්‌ බව මේ වන විට හෙළිදරව් වී ඇත.

මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ කියා සිටියේ මෙම හමුදා සෙබළුන් තිදෙනාට සහ මේජර් ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා තුනක්‌ එල්ල වී ඇති බවයි.

ව්‍යාජ අංකයක්‌ යොදා ගෙන වෑන් රථය ධාවනයට යෙදවීම, තම රාජකාරී ගිනි අවිය, ආරක්‍ෂක හමුදා සෙබළුන් අතට පත් කිරීම, එල්. ටී. ටී. ඊ. වාහනයක්‌ පාවිච්චි කිරීම යන චෝදනා මොවුන් වෙත එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් යුද හමුදා මේජර් ජෙනරාල්වරයාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.

මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබළුන් තිදෙනාට එරෙහිව පෙර වැරදි කිසිවක්‌ නොමැති බවද පොලිසිය පවසයි.

මිරිහාන පොලිසියේ විශේෂ කණ්‌ඩායමක්‌ විසින් මෙම වෑන් රථය අත්අඩංගුවට ගන්නේ 21 වැනිදා රාත්‍රී කාලයේදීය.

එහිදී හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූයේ ඔවුන් යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් බවයි. ඔවුන් සතුව තිබී සොයාගත් මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියද මේජර් ජෙනරාල්වරයාගේ නිල ගිනි අවිය බව හෙළි විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසියද වෙනම පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

මේ අතර නිත්‍යානුකූල නොවන ගිනිඅවියක්‌ තබා ගැනීම ඇප ලබාදිය නොහැකි වරදක්‌වන අතර එවැනි අවියක්‌ ළඟ තබාගෙන සිටි පුද්ගලයන්ට පැය 24 ක්‌ ඇතුළත ඇප ලැබෙන්නේ කෙසේදැයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.පැය 24 ක්‌ ඇතුළත එම සිද්ධියට ඇප ලැබීමෙන්ම එයට බලවත් පාර්ශවයක මැදිහත් වීමක්‌ තිබෙන බව පැහැදිලි යයිද හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ නිවසට යන අතුරු මාර්ගයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වාසය කරන මිරිහානේදී ව්‍යාජ අංක තහඩු සහිත සුදුවෑන් රථයක්‌ සහ ස්‌වයංක්‍රීය ගිනිඅවියක්‌ සමග සිවිල් ඇඳුමින් සැරසුන හමුදා සෙබළුන් සිවුදෙනකු හමුවීමේ සිද්ධිය සම්බන්ධව වීරවංශ මහතා එසේ සඳහන් කළේය.