එදා සද්ද නැ..වාදෙකට එන්න.. අගමැතිගේ ප්‍රකාශයේදි “ඩිවි” ට චොදනා.

Ranil-Wickremesinghe

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි.

බැඳුම්කර ගනුදෙනුවේදී මහබැංකු අධිපතිවරයා ක්‍රියාකර ඇති ආකාරය ගැන කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ගැන එහි සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර මහතා මාධ්‍යයට කරන ලද ප්‍රකාශ පදනම් කර ගනිමින් අගමැතිවරයා මේ බව කියා සිටියේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොතදී අද  විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ඊයේ පැවසුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු අද පෙරවරුවේ මාධ්‍යවේදීන් හමුවේ ‍ෙම් බව ප්‍රකාශ කළේය.

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු මෙම සිද්ධියේදී කටයුතු කර ඇත්තේ දේශපාලන වාසි වෙනුවෙන් යැයි අගමැතිවරයා එහිදී චෝදනා කළේය.

මහ‍ජන නියෝජිතයින් ලෙස පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය ආරක්ෂා කළ යුතු බවත්, දේශපාලන වාසි වෙනුවෙන් පෙනී නොසිටිය යුතු බවත්, ජනතාවගේ මුදල් ආරක්ෂා කළ යුතු බවත්, එසේ කළ නොහැකි නම් එවැනි තැන්වල නොසිටිය යුතු බවත්, අගමැතිවරයා අවධාරණය කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා තිබියදී ඩිව් ගුණසේකර මහතා පාර්ලි‍ෙම්න්තුවේ වාර්තාවක් තමන්ගේ ලියවිල්ලක් ලෙස ඉදිරිපත් කරමින් සිදුකර ඇත්තේ ලොකු වංචාවක් බවද කියා සිටි අගමැතිවරයා හැකි නම් ඒ ගැන සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා සමග වාදයකට එන්නැයි ගුණසේකර මහතාට අභියෝග කරන බවද පැවසීය.

කෝප් කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට අගමැතිවරයාට යා හැකි බවත්, එය වෙනත් රටවල පවා සිදුවන සාමාන්‍ය දෙයක් බවත්, අගමැතිවරයා පෙන්වාදුන්නේය.

මෙම බැඳුම්කර සිද්ධියේදී ‍කෝප් කමිටුව සිදුකළ පරීක්ෂණයට තමාව කැඳවීමට හැකියාව තිබූ බවත්, එම කමිටුවේ බහුතරයක් තමාව කැඳවීම සුදුසුයි යන ස්ථාවරයේ සිටි බවත්, රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එසේ වුවද අගමැතිවරයා සාක්ෂි ලබාදීමට කැඳවිය නොහැකි බව කියමින් මාධ්‍ය මගින් බොරුවක් ප්‍රචාරය කළ බවටද අගමැතිවරයා චෝදනා කළේය.

පසුගිය ආණ්ඩුව සමයේ මහබැංකුවේ එදා සිදුවූ දේවල් ගැන සොයන්නේ නැතිව ඩිව් ගුණසේකර එදා සිටියේ නින්දේ යැයිද අගමැතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේය