මහින්ද ඉල්ලා හෙට මැදමුලනට.

sri-lankan-president-mahinda-rajapaksa1

ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීන්දුව දැන ගැනීමට හා අගමැති අපේක්ෂකයා ලෙස ඔහුට ආරාධනා කිරීමට වෘත්තීය සමිති 200 ක් පමණ හෙට මැදමුලනට යන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ කැඳවුම්කරු පියසිරි විජේනායක මහතා පවසයි.

රටේ වැඩකරන ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා බව අද(30) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී විජේනායක මහතා කියා සිටියේය.

මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාවක රජයේ පත්වීම් ලබාදිය නොහැකි බවත්, එසේ වුවද මෑත යුගයේ එවැනි නීති විරෝධී පත්වීම් ගණනාවක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ 3000 ක සේවක පිරිසක් ඉවත්කර 450 ක පිරිසක් බඳවාගෙන ඇති බවත්,සාගර විශ්වවිද්‍යාලයට 50ක් බඳවාගෙන ඇති බවත්,වරායට 45 ක් බඳවාගෙන ඇති බවත්, තවත් පිරිසක් රජයේ මුද්‍රණාලයට බඳවාගෙන ඇති බවට තොරතුරු පළවන බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙවැනි පත්වීම් ලබාදීමේදී මැතිවරණ කොමසාරිස්, මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ඒ පිළිබඳ හෙළිදරව් කරමින් ඊට විරෝධය පළ කළ බවත්, එසේ වුවද මෙවර ඔවුන් දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැටළු සහගත බවත් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.