පරිප්පු රු:4.75කින් අඩුවෙයි;තෙල් රු:110ක් ලෙස වැඩිවෙයි.

Dhal

වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත.

ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාව වැලැක්‌වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු (රතු පරිප්පු හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක්‌ පැවති කිලෝ ග්‍රෑමයකට රුපියල් 5.00 ක්‌ වූ ආනයනික විශේෂ වෙළඳ භාණ්‌ඩ බද්ද ඊයේ (17 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක්‌ සඳහා ශත 25 ක්‌ දක්‌වා පහත දමනු ලැබීය. මේ අනුව පරිප්පු කිලෝවක්‌ සඳහා මෙතෙක්‌ අය කළ රු. 5.00 බද්ද රු. 4.75 කින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කළ බව මුදල් ඇමැති රවි කරුණානායක මහතා පවසයි.

එසේම දේශීය වෙළඳපොළ තුළ පොල් මිල හා පොල්තෙල් මිල ඉහළ යාම හා ආනයනික ආහාරයට ගනු ලබන අනෙකුත් පොල්තෙල් නොවන තෙල් වර්ග පොල්තෙල් සමඟ මිශ්‍ර කර අලෙවි කිරීම පිළිබදව ලැබී ඇති පැමිණිලි හේතුවෙන් එවැනි කූට වෙළෙදාම් අධෛර්යමත් කිරීම පහසු වන පරිදි මෙරටට ආනයනය කරන ආහාරයට ගනු ලබන අනෙකුත් තෙල් වර්ගයන්හි කිලෝ ග්‍රෑමයකට රු. 90.00 ක්‌ ලෙස පැවැති විශේෂ වෙළෙඳ භාණ්‌ඩ බද්ද රජය විසින් ඊයේ (17 දා) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑමයක්‌ සඳහා රු. 110.00 ක්‌ දක්‌වා ඉහළ දමා ඇත. අති විශේෂ ගැසට්‌ නිවේදනයක්‌ මඟින් ඊයේ මෙම සංශෝධනයන් සිදු කර ඇත.