මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

High expectations from Maithri-Mahinda meeting

ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්වී තිබේ.

අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් දේශපාලන තත්ත්වය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කර ගත් බව ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

මෙම හමුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කතාවෙන් ඉක්බිතිව මහින්ද රාජපක්ෂ මහතා සමග පක්ෂයේ උන්නතිය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු බවටත්,ඊට සම්බන්ධීකරණ කමිටුවක අවශ්‍යතාවක් ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා යෝජනාවක් ගෙන ආ බව යාපා මහතා සදහන් කර තිබේ.

කුමාර වෙල්ගම මහතා විසින් ගෙන ආ යෝජනාවට සියලුමදෙනා පාහේ කැමැත්ත පළ කළ බැවින් ජෝන් සෙනෙවිත්න,ඩිලාන් පෙරේරා,කුමාර වෙල්ගම,ටී.බී ඒකනායක,සුසිල් ප්‍රේමජයන්ත සහ පක්ෂයේ මහලේකම් ලෙස තමන් ඊට පත්කෙරුණු බව යාපා මහතා සඳහන් කළේය.

අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට පක්ෂයේ සියලුම සංවිධායකවරුන්, පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරුන් ද සහභාගිවී සිටි බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.