පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.

gammanpila

ව්‍යවස්ථාදායක සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු නම් කිරීම යහපාලන සම්ප්‍රදායට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ ව්‍යවස්ථාදායක සභාවේ අරමුණු ඉටුකර ගැනීමට එය බාධාවක් විය හැකි බවයි. ඒ මහතා මාධ්‍ය හමුවේ පහත පරිදි කරුණු දක්වා සිටියා.

ව්‍යවස්ථාදායක සභාවේ අර්බුදය
උදය ගම්මන්පිල මහතා අභයාරමයේ දි දැක්වු අදහස්
2015.06.01

පසුගිය ඉරිදා මාධ්‍ය වල වාර්තා කර තිබුනා අපේ පා ගමනක් මේ මස 7 හා 8 දිනවල කලුතර සිට කොළඔට පැමිනෙන බව. මේ මාධ්‍ය හමුවේ එක් අරමුනක් උනේ එම පා ගමන ගැන ඔබලාට දැනුම් දෙන්න. පසුගිය සති අන්තයේ මාධ්‍ය හරහා මේ පා ගමන ගැන දැන ගත් දකුනේ ජනතාවගෙන් අපිට ලොකු විරෝධයක් එල්ල වුනා. අපි මේ 12 මාතර රැස්වීමකට ලැස්ති වෙනවා. 12 රැස්වීම තියෙන අතරේ ඊට පෙර තිබෙන සති අන්තයේ පා ගමක් යාමෙන් ඒ විරෝධයට අපිට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. මේ ඓතිහාසික පා ගමන දකුනේ ජනතාවට අහිමි කිරිම අසාධාරණයි කියලා ඩලස් අලහප්පෙරුම මන්ත්‍රිතුමා ඇතුලු දකුනේ දේශපාලන නායකයන්ගෙන් දැඩි විරෝධයක් අපිට අවා. ප්‍රජාත්‍රන්තවාදයට හිස නමලා 12 වෙනිදායින් පසුව පා ගමන සිදු කරන්න අපි තිරණය කළා. ඒ අනුව ඉදිරි දිනකදි ඒ පා ගමන පැවැත්වෙනවා.
මීළගට තමුන්නාන්සේලාගේ අවදානය යොමු කරනවා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයට. ඒ අනුව එහි පිහිටුවන ඉහලම ආයතනය වන ව්‍යවස්ථාදායක සභාවට නම් යෝජනා කරමින් පවතිනවා. ජනාධිපති වරයාගේ නියෝජිතයා ලෙස චම්පික රණවක අමාත්‍යවරයාත් අගමැතිතුමාගේ නියෝජිතයා ලෙස විජේදාස රාජපක්ෂ මහතාගේ නමත් කියවෙනවා. ඒ දෙදෙනා සමගම පුද්ගලික තරහක් තියෙන නිසා නොවේ මම මේ කියන්නේ. මේ පත්කිරීම් යහපාලන සම්ප්‍රදායට සම්පූර්නයෙන්ම පට හැනියි. මෙතන තියෙනවා බැදියාවන් පිලිබද ගැටුමක්. ඒ කියන්නේ ව්‍යවස්ධතදායක සභාවේ සාමාජිකයන් තමයි රාජ්‍යසේවා කොමිසමේ නියෝජිතයන් පත් කරන්නේ. රාජ්‍ය සේවා කොමිසමට තමයි අමාත්‍යන්ස වල සියලුම නිලධාරීන් මාරුකිරීම් උසස් කිරීම් සහ විනය පාලනය අයිති වෙන්නේ. ඇමතිවරයෙක් වාඩි වී සිටින  ව්‍යවස්ථාදායක සභා‍වෙන් පත්කරන රාජ සේවා කොමිසම නම්, නිලධාරීන් පාලනය කරන්නේ අර ඇමති වරයාට අනෙක් ඇමතිවරුන්ට නැති සුවිශේෂි බලයක් තියෙනවා තමුන්ගේ අමාත්‍යයන්සයේ නිලධාරීන්ගේ විනය පාලනය උසස්කිරීම් සහ මාරු කිරීම් සම්බන්දව. නමුත් 19 වන සංශෝධනයේ අරමුන වුනේ දේශපාලකයන්ගෙන් රාජ්‍ය සේවය ස්වාධීන කිරීම. මම පුද්ගලිකව ඒ කාරනයට එකග නෑ. නමුත් පාර්ලිමේන්තුවේ සාතිශ්‍යය බහුතරය විසින් මෙය අනුමත කර තිබෙනවා. එහෙම නම් ඒ අරමුන ඉටුවෙන්න ඇමතිවරයෙක් මේ ව්‍යවස්ථාදායක සභාවේ  සිටීම බධාවක්. ඊටත් වඩා දෙවන කාරනය භයානකයි. 19 වන සංශෝධනය හරහා පිහිටුවනවා ජාතික ප්‍රසම්පාදන කොමිසම. ආණ්ඩුවේ සියලුම මිලදී ගැනීම් සම්බන්ධයෙන් ටෙන්ඩර් සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය. මේ ජාතික ප්‍රසම්පාදන කොමිසම අමාත්‍යන්ශයක මිලදී ගැනීම් හරියට වෙනවද ටෙන්ඩර් මගඩි වෙනවද කොමිස් ගහනවද කියල හොයා බලන ආයතනය. මිලදී ගැනීම් සම්බන්දයෙන් ඉහලම මිලදී ගැනීම් සිදු කරන්නේ අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය වරු තමයි තීරනය කරන්නේ මේ ටෙන්ඩරය කාටද දිය යුත්තේ කියල. එසේ තීරන ගැනීමට සම්බන්ධවන අමාත්‍ය වරුන් දෙන්නෙක් වන විජේදාස රාජපක්ශ සහ චම්පික රනවක ඇමතිවරුන් අනෙක් පැත්තෙන්  ව්‍යවස්ථාදායක සභාවේ වාඩිවෙලා අපි වැඩේ හරියට කරනවද කියල බලන්න පත්කරන ප්‍රසම්පාදන කොමිසන් සභාවේ සාමාජිකයන් පත් කරනවා. මේක හරියට පොලිස්පති හා විනිසුරුවන් පත්කරන්න හොරුන්ට බාරදුන්නා හා සමානයි.  ඒ නිසා මෙතන පැහැදිලිවම අමාත්‍ය වරුන් පත්කිරීම සම්බන්ධව ගැටලු පවතිනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව කියා තියෙන්නේ මන්ත්‍රීවරුන් පත්කරන්න කියලයි. ඇමති නොවන මන්ත්‍රීවරු සාතිශ්‍ය බහුතරයක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒනිසා මෙවැනි සබධතා අතර ගැටුමක් ඇති කිරිමට කටයුතු කිරිම මේ රටේ පරිනත දේශපාලකයන් දෙදෙනෙක් වන ජනාධිපතිතුමා හා අගමැතිතුමා ඔවුන් විසින් ජනතාවට විකුණු යහපාලන සිහිනය නැතව වරක් බිද දැමිමක් වෙනවා.
ඒ වගේම අගමැතිතුමන් ඊයේ නුවර දි ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ ජනතාවත් විපක්ෂයත් මතක තියාගත යුතුයි එතුමගේ අගමැතිකමට එරෙහිව විස්වාස භංගයක් ගෙන්න බෑ. මොකද එතුමටත් ජන වරමක් තියෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැතිකමට කොහෙන්ද ජනවරමක් ලැබීලා තියෙන්නේ. එතුමා කියන ආකාරයට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් නිසා, සිරිසේන මැතිතුමා ජනපති වුනෝත් අගමැති වන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා, ජනවරම තිබෙනවාය කියලා අගමැතිතුමා කියනවා.ජනාධිපතිවරනයක දී ලෝකයේ කිසිම රටක අගමැතිව අපේක්ෂක නම් කරන්නේ නෑ. එක කරන්න ඕනේ පර්ලිමේන්තු මැතිවරනයේ දී. දැන් මෙතුමන්ලා අනවශ්‍ය තැනක දී අගමැති අපෙක්ෂක නම් කරලා අවශ්‍ය තැන දි එහෙම සම්ප්‍රදායක් නෑ කියනවා. ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකින් අගමැතිවරයෙක් නම් කරන්න බෑ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධි කාරනයක්. අපිටත් ලස්සන වැඩක් කරන්න තිබුනා. අපි දන්නවා 1958 ඉදන් කොළඹ මහ නගර සභාව දිනන්නේ එජාපය. අපි අවුරුදු 21ක් රට පාලනය කලත් අපි  කොළඹ මහ නගර සභාවට නගරාදිපතිවරයෙක් පත් කරගන්න බරි වුනා.
2010 ජනාධිපති වරනයේ දි  මහින්ද රාජපක්ෂ මහත්තයා විශිෂ්ඨ ජයක් බලන බව කලින්ම පෙනෙන්න ගත්තා. අපිටත් තිබුනා මැතිවරණ ප්‍රකාශනයේ දාන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනපති වුනොත් කොළඹ නගර සභාවේ නගරාධිපති වන්නේ සුලුතර කණ්ඩායමේ නායකයා වී සිටින  අජන්ත ලියනගේය කියලා. එහෙම කරලා අපිට කවදාවත් දිනන්න බැරි කොළඹ නගර සභාවේ නගරාධිපතිට අජන්ත ලියනගේ මහතා පත් කරන්න තිබුණා. අපේ වසර 21කටම මේ වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධි උප්පරවැට්ටි කලේ නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි ඔබට ජන වරමක් නොමැත. අපි අභියෝග කරනවා පුලුවන්නම් මැතිවරණයකට ඉදිරිපත් වෙලා ජනවරමකින් අගමැති වෙන්න කියලා.
මහින්ද රාජපක්ෂ මැතිතුමා පන්සලේ දේශපාලනය කරන බවට උද්ඝෝෂණයක් පැවතියා. අර්ජුණ රණතුංග ඇමතිතුමා පවසා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා පන්සලේ කරන දේශපාලනය හිරිකිතයි කියා. බටහිර ආභාෂයට ඉගෙනගත් නිසාත් අපේ ඉතිහාසය හා උරුමය පිළිබද නොදන්නා නිසාත් තමයි ඔවුන් එසේ පවසන්නේ. මේ රටේ දේශපාලනයේ කෙන්ද්‍රය පන්සලයි. රටේ පාලකයා බිහිකලේත් වැරදි කරන විට කනෙන් ඇද ඉවත් කලෙත් පන්සලයි. ඒ කාලේ යුද්ධ මිස ඡන්ද තිබුනේ නෑ. යුද්ධය පැරදුනොත් රජතුමාව සගවාගෙන ඉදලා රජතුමාව පෝෂණය කරලා, ආරක්ෂා කරලා නැවත රජ පුටුවේ වාඩි කෙරුවේ පන්සලයි හමුදුරුවෝයි විතරමයි. මේ අපේ අරජුණ රණතුංග මැතිතුමා මහා වංශය කියවා නැති බවයි පෙනෙන්නේ.  මහා වංශය කියවා ගැනිමේ අපහසුතාවයක් තියෙනවා නම්, ඒක පාලියෙන් තිබීම නිසා තේරුම් ගැනීමට අපහසු නම්, අපි එතුමන්ගෙන් ඉල්ලා සිටිනවා මහ රජ ගැමුණු, සිරි පරකුම්, වීර පුරන් අප්පු වගේ චිත්‍රපටයක් වත් බලලා මේ රටේ උරුමය හා ඉතිහාසය ගැන ඉගෙන ගන්න කියලා.