ඊයේ ජනපති හමුවු අය අද මහින්ද හමුවෙයි.

High expectations from Maithri-Mahinda meeting
ඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා සන්ධානයේ පක්‍ෂ නායකයන් අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සන්ධාන පක්‍ෂ නායකයෝ ඊයේ (27දා) පස්‌වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ.

සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 14 ක නායකයන් වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපති හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර එකඟතාවයක්‌ ඇතිකර ගැනීමට කටයුතු කරන බව සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

පසුගිය සතියේදී සන්ධානයේ දේශපාලන පක්‍ෂ නායකයන් හමුවී මේ සම්බන්ධව සාකච්ඡා කර ගනු ලැබූ තීරණයට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙන බවද හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුවේ දින 100 අවසන් වී ඇති බැවින් ආණ්‌ඩු බලය සන්ධානයට ලබාගත යුතු බවටත් සන්ධානයක්‌ හැටියට ඉදිරි මහ මැතිවරණයට මුහුණදීම පිළිබඳව ජනාධිපති හා හිටපු ජනාධිපති අතර සාකච්ඡා කිරීමත් යන කාරණා පිළිබඳව සන්ධාන දේශපාලන නායකයන් එළඹුණු එකඟතා අනුව මෙම සාකච්ඡා පවත්වන බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

සන්ධානය බෙදී යනු ඇතැයි එ.ජා.පය කල්පනා කළත් සන්ධානයේ කිසිදු බෙදීමක්‌ සිදුනොවන බවත් ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ සන්ධානයේ සියලු පක්‍ෂ හා තවත් දේශපාලන පක්‍ෂද එක්‌ව පුළුල් සන්ධානයක්‌ ලෙස ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව ශ්‍රී.ල.නි.ප මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.