වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

19_000_Del456909

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 06 ක් සපිරෙයි.

ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ.බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්විපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනයකදීයි.

වර්ෂ 1975 ජූලි 27 වන දින එවකට යාපනය නගරාධිපතිවරයා ලෙස සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ගේ ප්‍රභාකරන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග සඳහා අවතීර්ණ වූ බව කියැවෙයි.

දශක 03 කට අධික කාලයක් ශ්‍රී  ලංකාවේ ජනතාව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සැහැසිකම්වලින් පීඩාවිඳන ලදී.

අවස්ථා ගණනාවකදී සටන් විරාමයන් ක්‍රයාත්මක වුවද සටන් විරාමයන් අතරතුරදී වුවද එල්.ටී.ටී.ඊ. සංවිධානය සිය සුපුරුදු සන්නද්ධ දේශපාලනයේ නිරතවිය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියටත් ඉන් අනතුරුව බෞද්ධයන්ගේ මුදුන්මල්කඩවන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවටත් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් එල්.ටී.ටී.ඊ. ය ඔවුන්ගේ මිලේච්ඡත්වය ලොවට පෙන්නුම් කරන ලදී.

එසේම 2001 වසරේ සටන් විරාමය ක්‍රියාත්මක පැවති සමයේ දී එය කඩ කරමින් ත්‍රස්ත ක්‍රියාවල නිරත වූ එල්.ටී.ටී.ඊ.ය අනුරාධපුර කැබිතිගොල්ලෑව ඇතුළු ස්ථාන කිහිපයකදී බෝම්බ ප්‍රහාර එල්ල කරමින් මිනිස් ජීවිත සිය ගණනක් බිලිගත් බවද සිහිපත් කළ යුතුය.

ඉන් නොනැවතුණු ඔවුන් එවකට ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදාපති ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු හමුදා නායකයින් ඉලක්ක කරගනිමින් මෙන්ම දේශපාලන නායකයින් ඉලක්ක ද කරගනිමින් ද ප්‍රහාර එල්ල කළා.

2006 වසරේ ජූනි මස 21 වැනි දින ත්‍රීකුණාමලයට දකුණින් වූ මාවිල්ආරු සොරොව්ව වසා දමමින් 30,000 කට අධික පිරිසකගේ ජලයේ අයිතිය උදුරා ගැනීමට කටයුතු කළ එල්.ටී.ටී.ඊ. යට එරෙහිව මානුෂීය මෙහෙයුම් දියත් කිරීමට ආරක්ෂක හමුදාවන් විසින්  පියවර ගන්නා ලදී.

එවක ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම යටතේ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන්, යුද හමුදාපති ලුතිතන් ජනරාල් සරත් ෆොන්සේකා, නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ හා ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක වැනි යුධ නායකයින් දියත් කළ හමුදා මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස 2007 වසරේදී නැගෙනහිර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමට හැකියාව ලැබුණි.

නැගෙනහිර මුදා ගැනීමෙන් නොනැවතුනු ශ්‍රී ලංකා හමුදාවන් 2009  වසරේ මැයි 18 වැනි සදුදා උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සතුව පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනු ලැබිණි.

එහිදී එල්.ටී.ටී.ඊ. ප්‍රාණඇපයේ සිටි සාමාන්‍ය  වැසියන් දහස් සංඛ්‍යාත පිරිසකට අවශ්‍ය රැකවරණය ලබාදීමට ද ආරක්ෂක අංශ විසින් පියවර ගන්නා ලදී.

ඉන් අනතුරුව මානුෂීය මෙහෙයුමට නායකත්වය දුන් එවක සේනාධිනායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දශක 03 කට පසු ශ්රීහ ලංකා ද්විපයම එක් ධජයක් යටතට පත්වූ බව නිල වශයෙන් නිවේදනය කළා.

ජාතියේ ඓතිහාසික විජයග්‍රහණය සැමරීම සඳහා මේ වනවිටත් මුළු රටම සූදානමින් සිටියි.

විජයග්‍රහණයේ ජාතික උත්සවය හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර මාතෘ භූමි සංවිධානය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන රණවිරු සැමරුම් උත්සවය අද පස්වරු 6.00 ට විහාරමහාදේවි උද්‍යාන  පරිශ්‍රයේදී පැවැත්වෙයි.

මේ සඳහා දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතව තිබේ.