තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

Ranil-Wickremesinghe

පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බදු බර පටවමින් ණය ගෙවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි.

කොමිස් මුදල් දුන්නත් අදාළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නොලැබුණා යැයි කියා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් කෑගැසුවාට අපට කළ හැකි කිසිවක් නැති බවත්, ඒ අය කළ යුත්තේ ඒ ඒ ව්‍යාපෘති වෙනුවෙන් කොමිස් මුදල් දුන් අයගෙන්ම ඒ මුදල් ඉල්ලා ගැනීම බවත්, හෙතෙම කියයි.

අද (14)  සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති කොළඹ දිස්ත්‍රික් තරුණ නියෝජිත හමුව අමතමින් ඒ මහතා මේ අදහස් පළ කළ අතර එහිදී අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව තරුණ තරුණියන් වෙනුවෙන් උපරිම සේවයක් සලසන්නැයි ජාතික තරුණ සේවා සභාවට මම විශේෂයෙන් උපදෙස් දී තිබෙනවා. එහෙත් පසුගිය යුගයේ එවැනි තත්ත්වයක් මේ රටේ නොතිබූ අතර ජාතික තරුණ සේවා සභාව පැවැති ආණ්ඩුව යටතේ දේශපාලනය දෙස බලා උදව් උපකාර කළේ තරුණ තරුණියන්ගෙන් කොටසකට පමණයි. ඒ වුණාට දේශපාලනය කුමක් වුණත් ජාතික තරුණ සේවා සභාවේ සේවා ලබා ගැනීමට ගමේ මෙන්ම නගරයේ තරුණ තරුණියන්ට අයිතියක් තිබෙනවා. තරුණ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු විශාල වශයෙන් කිරීමට හැකි වීම ගැන අප සතුටු වන අතර යොවුන් පාර්ලිමේන්තුව වෙනුවෙන් වර්ෂයකට රුපියල් කෝටි 25 ක් යෙදවීමට ද අප කටයුතු යොදා තිබෙනවා. ඒ ප්‍රතිපාදන යොදවන්නේ කෙසේද යන්න පිළිබඳව යොවුන් පාර්ලිමේන්තුව තීරණය කළ යුතුයි. ඊට අමතරව අනෙකුත් වැඩ කටයුතු සඳහා ජාතික තරුණ සේවා සභාවට අප වෙනම ප්‍රතිපාදන ලබා දීමට ද කටයුතු කරනවා.