ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

TH25_GOTABAYA_SRI__1467619e

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය  ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ තමා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ ඇමැතිවරුන් 39 ක්‌ සහ පොලිස්‌පති ඇතුළු සියලු වගඋත්තකරුවන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

පෙත්සම් විභාගය ලබන ඔක්‌තෝබර් 06 දා පැවැත්වීමටද නියම කෙරිණි. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ තහනම මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ක්‍රියාත්මක වනු ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1), 13(1), 14(1) එච් යන වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය වී තිබේද? උල්ලංඝනය වීමේ අවදානමකට පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා මුහුණ පා සිටීද නැද්ද යන්න පෙත්සම් විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇත.

පෙත්සමට විරෝධතා ඇත්නම් ඒවා ලිතව ජුලි 7 වැනිදාට පෙර රෙජිස්‌ට්‍රාර්වරයා වෙත භාර දෙන ලෙසද වගඋත්තකරුවන්ට නියම කෙරිණි.

ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ බුවනෙක අළුවිහාරේ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවන ලදී.

ඒ තිදෙනාගෙන් විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතූන් මත පෙත්සම් විභාගයට සහභාගි නොවන බව දැනුම් දුන්නේය.

විනිසුරු මඬුල්ලේ අනික්‌ සාමාජිකයන් දෙදෙනා වන ඊවා වනසුන්දර මහත්මිය සහ සරත් ද ආබෲ මහතා හමුවේ පෙත්සම සලකා බැලීම සිදුකෙරිණි.

විනිසුරු මඬුල්ල හමුවේ මුලින්ම කරුණු ඉදිරිපත් කළේ පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

ගෝඨාභය රාජපක්‌ෂ මහතා සාධාරණ හේතුවක්‌ නැතිව අත්අඩංගුවට ගෙන හිර කර තැබීමේ ඉතා සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පෙත්සම ඉක්‌මනින් විභාගයට ගෙන ඔහුට සහනයක්‌ ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා කරුණු දක්‌වමින් ඉල්ලා සිටියේය.