වාහන නිසා ඇතුලට ගිය සජින්

sajin vass

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් අති සුඛෝපභෝගී වාහන 20 ක්‌ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 20 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන සිය පෞද්ගලික පාවිච්චිය සඳහා සහ සැකකරුගේ පෞද්ගලික ආරක්‍ෂක ආයතනයක්‌ වන කොස්‌මෝ ආයතනය වෙත ලබාදුන් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් සජින් ද වාස්‌ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව ඒ මහතා ඊයේ පෙරවරු 9.00 ට පමණ එහි පැමිණ තිබේ.

එහිදී පැය 5 1/2 කට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඒ මහතාගෙන් ප්‍රශ්න කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සවස 2.30 ට අත්අඩංගුවට ගන්නා ලදී. පසුව සජින් ද වාස්‌ මහතා කොටුව අධිකරණය වෙත රැගෙන ගොස්‌ තිබිණි.

සජින් ද වාස්‌ මහතා සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් සුඛෝපභෝගී වාහන 20 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගන්නා ලදී.

රජයේ දේපළ සාපරාධී පරිහරණය සඳහා යොදාගැනීමේ චෝදනාව මත සජින් ද වාස්‌ ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.