මහ නගර සභා දෙකක ලොක්කන්ට අපලයි

gavel, scale, and law book

ගාල්ල මහ නගර සභාවේ සභාපති  මෙත්සිරි  ද සිල්වා මහතා තනතුරෙන් ඉවත් කිරිමට අදාළ ගැසට් නිවේදනය බල රහිත කරමින් දකුණු පළාත් බද මහාධිකරණය නිකුත් කර තිබු තහනම ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ  ඒ අනුව මෙත්සිරි ද සිල්වා මහතා අදාළ තනතුරෙන් ඉවත් කිරීමට තමා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක වන බවයි.

මෙත්සිරි ද සිල්වා මහතාට එල්ල වී තිබූ පරිපාලන හා මූල්‍යම අක්‍රමිකතා  චෝදනා මත පළාත් සභා ඇමතිවරයා ලෙස තමාට හිමිව ඇති බලතල අනූව ඔහු නගරාධිපති හා සභාපති ධූරවලින් ඉවත් කළ බව ශාන් විජයලාල්ද සිල්වා මහතා පැවසීය.

එසේ වුවද තමාගේ තීරණය අභියෝගයට ලක් කරමින් මෙත්සිරි ද සිල්වා  මහතා දකුණු පළාත් බද මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සමකින් එම නෙරපීම වළක්වා තිබූ බවද ඒ මහතා පෙන්වාදුන්නේය.

කෙසේ වුවද මේ ගැන යළි අභියාචනාධිකරණයට තමන් කරුණු දැක්වීමෙන් පසුව ඒ ගැන අද තීන්දුවක් ලැබුණු බවත්, ඒ අනූව තමන් විසින් මෙත්සිරි ද සිල්වා තනතුරින් ඉවත් කළ බව සඳහන් ගැසට් නිවේදනය යළි බලාත්මක බවත්, ඒ මහතා පැවසීය.

ඒ අනූව දැනට ගාල්ල මහනගර සභාවේ උප නගරාධිපති ලෙස කටයුතු කරන කැළුම් සෙනෙවිරත්නට එහි නගරාධිපති පුටුව හිමිවීමට වැඩි ඉඩක් ඇති බවද වාර්තා වේ.

මේ අතර කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂනායක සුගත් අප්පුහාමි මහතාට පහරදීමේ චෝදනාව මත එහි නගරාධිපති ජනක රණවක මහතා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

‍‍කෝට්ටේ නගරසභාවේ ඊයේ පැවැති විරෝධතාවක් අතර තුරදී විපක්ෂනායකවරයාට නගරාධිපතිවරයා විසින් පහරදී ඇති බව පැවසුණු අතර මේ ගැන විපක්ෂනායකවරයා වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව තිබිණ.
මෙම ගැටුමේදී තමාටද ප්‍රහාරයක් එල්ල වූ බව කියමින් ජනක රණවක ද වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර කළුබෝවිල රෝහලට ඊයේ ඇතුළත්ව සිටියදී අද අත්අඩංගුවට ගන්නා ලදී.

කෝට්ටේ මහ නගර සභාවේ විපක්ෂනායක සුගත් අප්පුහාමි මහතා ද අත්අඩංගුවට ගෙන තිබේ.