මංගල කිවු 18 ගැන මහින්දගේ පිළිතුර

Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka
Mahinda Rajapaksa, former President of Democratic Socialist Republic of Sri Lanka

රාජපක්ෂ පවුල සතුව ඩොලර් බිලියන 18ක වත්කම් ඇතැයි හෙළි වී ඇති බවට විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

මේ මාධ්‍ය සදහා නිකුත්කල සම්පුර්ණ නිවේදනයයි.

මටත්, මාගේ බිරිඳටත් පුතුන්ට හා සහෝදරයන්ටත් අමෙරිකානු ඩොලර් බිලියන 18ක වත්කම් විදේශීය බැංකු ගිනුම් හා සමාගම්වල ආයෝජන හැටියට තිබෙන බවට විදේශීය ඔත්තු සේවා වලින් තොරතුරු ලැබී ඇති බව විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ පැවති පුවත්පත් සාකඡ්චාවකදී කියා සිටියේය. එක කාලයකදී කොළඹ ඉදිවෙන විශාල ගෙවල් හා රට පුරා තැන් තැන් වල ඉදිවෙන හෝටල් මගේ පවුලේ සාමාජිකයන්ට අයිති ඒවා යැයි ප්‍රචාර ගෙන යෑමේ ප්‍රවනතාවයක් තිබුනි. මෙවැනි ප්‍රචාර දැන් ගෙනයෑමට නොහැකි නිසා පිටරට තිබෙන රහසිගත වත්කම් ගැන ප්‍රචාර සිදුකෙරේ.

මටත් මගේ පවුලේ සාමාජිකයන්ටත් තිබෙනවා යැයි කියන විදේශීය වත්කම් ගැන කථා කිරීමේදී, ඒ තොරතුරු සත්‍ය දැයි තමා නොදන්නා බව කීමටද සමරවීර ඇමතිවරයා වගබලා ගත්තේය. තමා කරන ප්‍රකාශ ඒ ආකාරයට ආවරණය කර ගැනීමෙන් සම්පුර්ණ මුසාවක් වුවද සත්‍යයක් හැටියට ජනතාවට ඉදිරිපත් කිරීමට හැකි වේ. විදේශ ඇමති එවැනි ප්‍රකාශයක් කරන විට එය විදෙස් පුවත් සේවාවලින්ද ප්‍රචාරය වේ. මට එරෙහි බොරු ප්‍රචාර එවැනි කපටි උපක්‍රම මගින් ප්‍රසිද්ධ කරනු ලැබේ. මට හෝ මගේ බිරිඳට හෝ පුතුන්ට හෝ සහෝදරයන්ට රහසිගත බැංකු ගිනුම් හෝ විදේශීය සමාගම්වල රහසිගත ආයෝජන කිසිවක් නැති බව ජනතාවට දැනුම් දීමට මම කැමැත්තෙමි. සමරවීර ඇමතිවරයාගේ ප්‍රකාශය ගැන නීතිමය උපදෙස් ලබාගැනීමටද මම බලාපොරොත්තු වෙමි.