මහින්ද – මෛත්‍රි අද එකට

Mahinda-Maithri-1-720x480

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර අද සවස 1.30 ට (6 වැනිදා) පැවැත්වීමට නියමිත හමුව සඳහා දෙපාර්ශ්වය නියෝජනය කරමින් තිදෙනා බැගින් නියෝජිතයන් ඊයේ (5 දා) නම්කර ඇත.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් සහභාගි වීමට නියමිත බව ආරංචි මාර්ග කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ ඩලස්‌ අලහප්පෙරුම යන මහත්වරුන් ඒ සඳහා සහභාගි වනු ඇතැයි වාර්තා වේ.

මෙම හමුව පිළිබඳව දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර පූර්ව සාකච්ඡාවක්‌ ඊයේ (5 වැනිදා) සවස පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් අද හමුව සඳහා නියෝජිතයන් 4 දෙනෙකු සහභාගි වන බව කලින් දන්වා යවා තිබුණු අතර ඒ සඳහා නියෝජිතයන් තිදෙනකු පමණක්‌ බැගින් දෙපාර්ශ්වයෙන්ම සහභාගි කරවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයෙන් දැනුම් දීමක්‌ කර තිබිණි.

ඒ අනුව දෙපාර්ශ්වය නියෝජනය කරමින් සාමාජිකයන් තිදෙනා බැගින් මෙම හමුව සඳහා සහභාගි වනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුව අද ප.ව. 1.30 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර මීට පෙර පැවැත්වීමට නියමිතව තිබූ හමුව හිටපු ජනාධිපතිවරයා කොළඹින් බැහැරව සිටීම නිසා නොපැවැත්විණි.

පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් දිනයක්‌ ලබාගෙන ඒ දිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ලබාදී නැවත එම සාකච්ඡාව අරඹන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා මාධ්‍ය හමුවකදී පැවැසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක්‌ පැවැත්වීම සඳහා කුමාර වෙල්ගම සහ ටී. බී. ඒකනායක යන මන්ත්‍රීවරුන් මුල්තැන් ගෙන ක්‍රියා කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප සභාපති ලෙසත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිප අනුශාසක ලෙසත් මේ දෙදෙනාගේ එකතුවීම පක්‍ෂයේ උන්නතියට විශාල දායකත්වයක්‌ වනු ඇති බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් සන්ධාන නායකයින් සහ මහා සංඝරත්නයේ මතය වී තිබිණි.

කෙසේ වෙතත් මෙම හමුව පක්‍ෂයේ දෙදෙනකු අතර පැවැත්වෙන හමුවක්‌ බැවින් එය පක්‍ෂයේ අභ්‍යන්තර කටයුත්තක්‌ බවත් එම හමුවේ එකම අරමුණ අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුව ගෙදර යවා ශ්‍රීලනිප ආණ්‌ඩුවක්‌ පිහිටුවීම බවත් නිවාස හා සමෘද්ධි රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.