ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

 

Sri-Lanka-Police

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වු උත්සවයකට ගිනි අවියක් සමග පැමිණ සිටි බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය  25  වන දින අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට මෙම කෝප්‍රල්වරයා ගිනි අවියක් ද රැගෙන පැමිණ සිට ඇති බව සඳහන්ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(02)  රාත්‍රී එම හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කර සිටි හමුදා සෙබලෙකු බව  පොලීසිය සඳහන් කළේය.

අදාළ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග මෙම හමුදා කෝප්‍රල්වරයා පැමිණ සිටි බවට පසුගිය දිනවල වාර්තා පල වුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.