මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

may day-sri-lanka

ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ප්‍රධාන මැයි රැළි සංඛ්‍යාව 17 ක්. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මැයි දිනය තේමා කරගනිමින් රැළි සංවිධාන කර තිබෙනවා.

වැඩබිමට ජවයක් සිරිලකට සවියක් යන්න තේමා කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වෘත්තීය සමිති සංවිධාන කරන මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. නෙළුම් පොකුණ අසල සිට පෙළපාලියකින් පැමිණ කොළඹ හයිඞ් පිටියේදී මැයි රැළිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව සදහන්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට සම්බන්ධ පක්ෂ රැසක් එක්ව සංවිධානය කරන “වැඩකරන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැළිය” වාමාංශික දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක සහභාගීත්වයෙන් කිරුළපන පිටියේදී මැයි දිනය සැමරිමට සූදානම් වනවා.මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, දේශ විමුක්ති පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒකාබද්ධවයි මෙවර මෙම මැයි රැළිය පවත්වනු ලබන්නේ. මේ රැළිය සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාටද ආරාධනා කර තිබේනවා.

එක්සත් මිනිසුන්ගෙන් පිරුණු රටක් යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ප්‍රධාන මැයි රැළිය හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිතයි. එල්ෆින්ස්ටන් රඟහල අසලින් ආරම්භ වන මැයි පෙළපාලිය පස්වරු දෙක පමණ වනවිට කැම්බල් පිටියට ළඟාවීමටයි නියමිතව ඇත්තේ.

වැඩ කරන ජනතාවගේ ගැටලූ විසඳන තේමා 05 ක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැයි දිනය සමරනවා. දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගනයෙන් ඇරඹෙන මැයි පෙළපාලිය බී.ආර්.සී. පිටිය වෙත පැමිණ ඉන් අනතුරුව මැයි රැළිය ආරම්භ කිරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.