මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

2112412412412421

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින් ඉහළ ගොස් තිබේ.

2013 වසරේදී මෙරට ආර්ථීක වර්ධනය සියයට 7.2 ක් විය.

මහ බංකුව සඳහන් කර තිබෙන්නේ පසුගිය වසරේදී මෙරට කර්මාන්ත අංශය සියයට 11.4 කින්ද සේවා අංශය සියයට 6.5 කින්ද වර්ධනය වෙද්දී කෘෂි කාර්මික අංශය වර්ධනය වූයේ සියය 0.3 ක් වැනි අඩු අනුපාතයකින් බවත් අයහපත් කාලගුණික තත්ත්වය කෘෂි කාර්මික අංශයට අයහපත් ලෙස බලපා තිබෙන බවයි.

එසේම, රාජ්‍ය ආදායම් අඩුවීම නිසා 2014 වසරේදී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 06 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර 2013 වසරේදී අයවැය හිඟය තිබුණේ සියයට 5.9 ක් ලෙසයි.

මේ අතර, රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 78.3 ක සිට සියයට 75.5 ක් දක්වා අඩුවී තිබෙන අතර 2014 වසර අවසන් වනවිට උද්ධමනය සියයට 2.1 ක් දක්වා අඩුවී තිබීම කැපී පෙනේ.

එසේම, 2013 වසරේදී පැවති සියයට 4.4 ක් වන සේවා වියුක්ති අනුපාතය 2014 වසරේදී සියයට 4.3 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය වසරේදී ආර්ථික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය විසින් රුපියල් බිලියන 442.4 ක් වෙන්කර තිබෙන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 4.5 ක් බවත් සඳහන්ය.

ලෝක ආර්ථිකයේ අර්බුද හමුවේත් මෙරට වෙළඳ හිඟය (Trade Deficit) 2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස සියයට 11.1 ක් දක්වා අඩුවී තිබෙන්නේ සියයට 11.3 ක සිටයි.

මෙහිදී, කැපී පෙනෙන කාරණයක් වන්නේ 2014 ආර්ථික ක්‍රියාකාරකම් පසුගිය රජය තුළදී සිදුවීමත් එයට අදාළ මහ බැංකු වාර්තාව නව රජය යටතේ නිකුත් වී තිබීමයි.

පසුගිය රජයේ ආර්ථික දත්තවල නිවැරදිභාවය පිළිබඳව ප්‍රශ්න තිබෙන බවට නව රජය විසින් චෝදනා කර තිබුණු අතර 2014 මහ බැංකු වාර්තාව නිකුත් කිරීමේදී ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වූවාදැයි අනාවරණය වී නොමැත.

මේ අතර නව රජය විසින් යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ඇගයීමට ලක්කිරීම හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනය අඩුවී 2015 වසරේ ලංකාවේ ආර්ථික වර්ධනය ගිය වසරට සාපේක්ෂව සියයට 6.9 ක් දක්වා පහත වැටෙනු ඇතැයි ලෝක බැංකුව පසුගියදා බලාපොරොත්තු පළකරන ලදී.
ලෝක බැංකුවේ South Asia Economic Focus report  නැමති වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කළ අතර මෙමගින් අනතුරු හඟවා තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ඉහළ යන ඕනෑම අවස්ථාවක ඒ තුළින් මෙරට ආර්ථිකයටද පීඩනයක් ඇතිවනු ඇති බවයි.
ජනප්‍රිය අයවැය පොරොන්දු ලබාදෙමින් වියදම වැඩිකර ගැනීමෙන් ඔබ්බට ගොස් ඉදිරියේදී මෙරට රාජ්‍ය ආදායම් වර්ධනය කරගනිමින් අයවැය හිඟය අඩුකර ගැනීමට පියවර ගැනීම වැදගත් බව මෙහිදී බැංකුව විසින් අවධාරණය කළේය.