19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

65

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද  215 ලැබිණි. විපක්ෂව ඡන්ද  1ක්  ලැබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය.

හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද පක්ෂව ඡන්දය දුන්නේය. එහෙත් බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ නොසිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සරත් වීරසේකර විරුද්ධ විය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ප්‍රේමලාල් ජයසේකර, එල්ලාවල මේධානන්ද, ජගත් බාලසූරිය, ජානක බණ්ඩාර ඇතුළු හත් දෙනකු ඡන්ද විමසීමට පැමිණ සිටියේ නැත.

මේ අතර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා දෙකක් සම්බන්ධයෙන් දෙපාර්ශවය යම් කිසි එකඟතාවකට පැමිණ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ඇමතිවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගෙන් විමසා   කටයුතු කිරීම හා ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයින් පත් කිරීමේදී ස්වාධීන පුද්ගලයින් ගණනට වඩා මන්ත්‍රීන් 7 දෙනෙකු පත් කළ යුතු බවට විපක්ෂය විසින් ගෙන එන ලද එම යෝජනා දෙකට දෙපාර්ශවය එකඟ වී ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කරයි.

ව්‍යවස්ථාදායක සභාවේ දැනට සංයුතිය මන්ත්‍රීවරුන් සහ ස්වාධීන පුද්ගලයන්  ගණන 10ක් වන අතර එය දෙපාර්ශවයෙන් සම සමව පත් කළ යුතුය.