බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

65

මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. පස්වරු 6.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්. මෙය ඉතා ඓතිහාසික අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා.

අදාළ යෝජනාව ස්ථිර කළේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින්. ඉන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් විවාදයේදී අදහස් දැක්වූවා. ඊට එක් වූ රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප‍්‍රකාශ කළේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජාත්‍යන්තරය හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට මෙය වටිනා අවස්ථාවක් බවයි.

විවාදයට එක් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අදහස් දැක්වූවා. උන්වහන්සේ කියා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදුකිරීමේදී එක්සත් ජාතික පක්ෂය හරවත් සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අදාළ සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කෙරුණු සංශෝධන සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා යහපත් ප‍්‍රතිචාරයක් නොදැක්වූ බවයි.

කෙසේවෙතත් විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා ප‍්‍රකාශ කළේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා උද්ඝෝෂණ පැවැත්වීම ඵලදායී නොවන බවයි.

කෙසේවෙතත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු පෙන්වා දෙන්නේ අද දහවල් සන්ධාන පක්ෂ නායකයින් රැස් වී ඒ පිළිබඳ අවසන් තීරණයකට පැමිණීමට නියමිත බවයි.

එහෙත් වාමාංශික පක්ෂ 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය පල කරන බව  ලංකා සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කළේය.

තමන් ඇතුළු විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන වලට සහය නොලැබුණහොත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට ඉඩලබා නොදෙන බව නව සමසමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දුන්නේ අඩුපාඩු පැවතිය ද මෙම අවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සියලු දෙනා සහයෝගය ලබාදිය යුතු බවයි.

එසේම ජාතික නිදහස් පෙරමුණ ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබාදෙන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව  වාර්තාවෙයි.